එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් කැඳවනු ලැබූ ආගමික නිදහස වර්ධනය කිරීමේ සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වෙයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා විසින් කැඳවනු ලැබූ ආගමික නිදහස වර්ධනය කිරීමේ සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී වෙයි

Pic 1

කෙනකුගේ ආගම හෝ විශ්වාසය ඉගැන්වීමෙන්, ක්‍රියාවේ යෙදවීමෙන්, වන්දනා කිරීමෙන් සහ පිළිපැදීමෙන් විද්‍යමාන කිරීම සඳහා, තනිව හෝ සමාජයේ සෙස්සන් සමඟ හෝ සහ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තමන්ගේ ආගම හෝ විශ්වාසය වෙනස් කිරීමේ නිදහසද ඇතුළුව, සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගම ඇදහීමේ නිදහසට ඇති අයිතිය වර්ධනය කොට ඉහළට ඔසවා තැබීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ආගමික නිදහස වර්ධනය කිරීමේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවසීය. ලොව පුරා සාමය සහ ස්ථාවරබව ඇති කිරීම සඳහා දායක වීමට ආගම්වලට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන බව පැවසූ ඒ මහතා ශ්‍රී ලංකාවේ අන්තර් ආගමික අවබෝධයට සහ සමගියට එල්ල වී ඇති අභියෝග හඳුනා ගනිමින්,  අභියෝග මැඬගෙන ආගමික නිදහස වර්ධනය කිරීම සඳහා ගනිමින් පවතින පියවර පැහැදිලි කර දුන්නේය. අද ලෝකයේ ප්‍රගමනය සඳහා වැඩියෙන්ම අවශ්‍ය කොට ඇති සාමය, කරුණාව, සම්මා සතිය, සහ යුක්තිය මෙන්ම අපගේ පොදු මනුෂ්‍යත්වය හඳුනාගැනීම ආදිය පෝෂ්‍ය කිරීම සඳහා  ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්වන බවද ඔහු අවධාරණය කළේය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පෙයෝ මහතාගේ සත්කාරකත්වයෙන් 2018 ජූලි 24 සිට 26 වැනිදා දක්වා වොෂිංටන් නුවරදී පැවැති ආගමික නිදහස වර්ධනය කිරීමේ සමුළුව අමතා විදේශ ලේකම්වරයා විසින් කරන ලද ආරම්භක ප්‍රකාශයේදී ඔහු මෙම අදහස් ඉදිරිපත් කළේය.

ගෝලීය වශයෙන් ආගමික නිදහසට එල්ල වී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ආගම්වලට හිංසා කිරීමේ සහ වෙනස්කම් කිරීමේ ගැටලුවට විසැඳුම් සහ ප්‍රතිචාර සෙවීමටත් රටවල් 80 කට අධික සංඛ්‍යාවක රජයේ නියෝජිතයෝ මෙන්ම ආගමික නායකයෝ, සිවිල් සමාජ නියෝජිතයෝ, රාජ්‍ය නොවන සංවිධානවල සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගී වූහ.

ආගමික නිදහස සියලු මනුෂ්‍ය වර්ගයාගේ විශ්වීය අයිතියක් බැවින් එක්සත් ජනපදය සිය විදේශ ප්‍රතිපත්තියෙහි කොටසක් ලෙස ආගමික නිදහස වර්ධනය කරන බව සමුළුව ආරම්භ කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පෙයෝ මහතා පැවසීය.  ආගමික නිදහස නැති කිරීම අනෙක් මූලික නිදහස් අයිතීන්වලට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට හානිදායක බැවින් ආගමික නිදහස ලෝකයේ සාමය සහ ආරක්ෂාව සඳහා හිතකර බව සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ එක්සත් ජනපද උප ජනාධිපති මයිකල් පෙන්ස් මහතා ප්‍රකාශ කළේය.

දේවාපහාසය/ආගම අතහැරීම පිළිබඳ නීති,  ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතුළු රාජ්‍ය නොවන කාරකයන් විසින් ආගමික නිදහස මර්දනය කිරීම,  සහ ත්‍රස්ත විරෝධී කටයුතු ආගමික නිදහස මර්දනය කිරීමේ  ව්‍යාජ හේතුවක් ලෙස යොදාගැනීම ආදිය ගැන සමුළුවේදී  නිකුත් කෙරුණු තේමාත්මක ප්‍රකාශ අනුමත කරන ලද රටවල් රැසක් අතර ශ්‍රී ලංකාවද විය.

ශ්‍රී ලංකාව විසින් කරන ලද ආරම්භක ප්‍රකාශය පහත සබැඳියෙන් කියැවිය හැකිය:

http://www.mfa.gov.lk/statement-sfa-washigton-dc-24-26-july-2018/

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
වොෂිංටන් ඩී.සී.

 

2018 ජූලි 27 වැනිදා

Pic 2

 

 

Pic 3

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close