විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,000 කට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂා කරති

විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,000 කට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂා කරති

Picture

ප්‍රධාන වශයෙන්ම විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය හරහා රැස්කරගත් තොරතුරුවලට අනුව, විදේශ රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු සිය රට බලා පැමිණීමට අපේක්ෂා කරති. සිසු සිසුවියන් 3,078 ක්, කෙටිකාලීන වීසා බලපත්‍රලාභීන් 4,040 ක්, සංක්‍රමණික ශ්‍රමිකයන් 27,854 ක්, ඔවුන්ගෙන් යැපෙන්නන් 3,527 ක් සහ ද්විත්ව පුරවැසියන් 484 ක් සහ වෙනත් අය ද මීට ඇතුළත් වෙයි. මේ අතර, පසුගිය අ‌ප්‍රේල් 21 වැනි දින සිට මේ දක්වා එතෙර රටවල් 15 ක සිටි ශ්‍රී ලාංකිකයන් 3,600 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති අතර, එම කණ්ඩායම බොහෝ දුරට විදේශවල අධ්‍යාපනය හැදෑරූ සිසු සිසුවියන්, පුහුණුව සඳහා යවන ලද රජයේ නිලධාරීන් හා ඔවුන්ගෙන් යැපෙන්නන්ගෙන් සමන්විත වේ.

එතෙර සිටින අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයන් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත් විදේශ සබඳතා අමාත්‍යාංශය, මෙරටට පැමිණෙන ගුවන් ගමන් සඳහා ගුවන් තොටුපොළ වසා දැමීමෙන් සතියක් ඇතුළත දී, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ද සහාය ඇතිව 2020 මාර්තු 26 වන දින ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය නිර්මාණය කළේය. මෙම ද්වාරය විවෘත කිරීමට සමගාමීව, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන අය පිළිබඳ දත්ත එක්රැස් කරන ලෙස විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට ද උපදෙස් දෙන ලදී. අවදානමට ලක්විය හැකි කණ්ඩායම් හඳුනා ගැනීම, ප්‍රමුඛතාවය ලබා දීම සහ නැවත සියරට පැමිණවීම සඳහා පදනම ලෙස මෙම මූලාශ්‍ර දෙක භාවිත කෙරෙයි.

මෙම ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් ද්වාරය, එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අතථ්‍ය උපකාරක කවුළුවක් ලෙස ද කටයුතු කරයි. ආර්ථික කටයුතු (බහුපාර්ශ්වීය) සහ විදේශීය ශ්‍රී ලාංකිකයන් පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අන්සුල් ජාන් ප්‍රකාශ කරන පරිදි, මෙම ද්වාරය දියත් කළ අවස්ථාවේ සිට මේ දක්වා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් 78,033 දෙනෙකු එහි ලියාපදිංචි වී ඇති අතර, ඒ සඳහාම කැපවූ කණ්ඩායමක් විසින්, සතියේ දින 7 හි පැය 24 තුළ ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙමින්, ප්‍රධාන වශයෙන් නැවත සියරට පැමිණවීම සහ කොන්සියුලර් ගැටලු පිළිබඳව පමණක් නොව, වෙනත් මෙහෙයුම් සහ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ද ලොව වටා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් විසින් නඟන ලද ප්‍රශ්න 7,788 කට පිළිතුරු ලබා දී ඇත.

විශේෂයෙන් අදාළ රටවල ශ්‍රී ලාංකික නියෝජනයක් නොමැති අවස්ථාවල දී, ශ්‍රී ලාංකිකයන් ආසන්නතම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩලය වෙත යොමු කිරීමට පමණක් නොව, ආහාර අවශ්‍යතාවයෙන් පෙළෙන සහ  හදිසි වෛද්‍ය අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන ශ්‍රී ලාංකිකයන් සමඟ, වියළි සලාක හා ඖෂධ ලබා දීම සහ සමහර අවස්ථාවල නවාතැන් සඳහා පහසුකම් ද සැලසීම පිණිස සම්බන්ධ වීම සඳහා උපකාරී වීමට ද මෙම ද්වාරය සමත් වී තිබේ. සංක්‍රමණිකයන් විසින් ශ්‍රී ලංකාව වෙත මුදල් එවීම  හා ශ්‍රී ලංකාවේ සිට කෙටිකාලීන සංචාරකයින් සහ සිසු සිසුවියන් වෙත මුදල් යැවීම සම්බන්ධ ගැටලු විධිමත් කිරීමට ද එය උපකාරී වී තිබේ. අධ්‍යාපන ආයතනවල ගැටලුවලට මුහුණ දුන් සිසුන්ට සහ රැකියා ගිවිසුම් කල් ඉකුත් වූ අයට නව රැකියා ගිවිසුම් ලබා ගැනීම සඳහා සමහර දූත මණ්ඩල උපකාර කර ඇති අතර, එම නිසා විරැකියාව හේතුවෙන් නැවත මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන අය ඒ පිළිබදව නැවත සළකා බලන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

සෙනසුරාදා (මැයි 16) දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ පැවති රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසුවේ, ඉදිරි සැලසුම් සකස් කිරීමේ දී සහ මෙම අමාත්‍යාංශය, දූත මණ්ඩල සහ එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් අතර සබඳතා හා ඍජු සන්නිවේදනයන් සියුම් ලෙස සම්බන්ධීකරණය කිරීමේදී විශ්වාසදායක විශ්ලේෂණාත්මක ආයතනික මෙවලමක් බවට මෙම ‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය පත්ව ඇති බවයි. අනාගතයේ දී එහි උපයෝගීතාව සහ ක්‍රියාකාරිත්වයන් පුළුල් කිරීමට මෙම අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය නිසා ඇති වී තිබෙන අභියෝග රාශිය හමුවේ විදේශ දූත මණ්ඩල ප්‍රතිචාර දක්වා ඇති ආකාරය පිළිබඳව නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, මෙම අමාත්‍යාංශයට සහ ලොව පුරා පිහිටි දූත මණ්ඩල කාර්ය මණ්ඩලවලට පෙර නොවූ විරූ ආකාරයකින් එකවර විසඳිය යුතු වූ විවිධ කර්තව්‍යයන්හි සංකීර්ණතාව පිළිබඳව විදේශ ලේකම්වරයා මහජනයාට පැහැදිලි කළේය. එහිදී ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ සහ සංචාරකයින්ගේ අවශ්‍යතා සපුරාලීම, විදේශ දූත මණ්ඩල සුරක්ෂිත කිරීම, ආපසු පැමිණීමට අපේක්ෂා කරන අයගේ බලවත් ඉල්ලීම් පිළිබඳව කටයුතු කිරීම, සත්කාරක රජයන් සහ ප්‍රජාවන් සමඟ සහයෝගයෙන් යුතුව තම සත්කාරක රටවල රැඳී සිටීමට අපේක්ෂා කරන අය සඳහා එම භූමිවල කොන්දේසි ලිහිල් කරවා දීම, ශ්‍රී ලංකාවේ වෛද්‍ය සහ ආහාර යන අංශ දෙකෙහිම අත්‍යවශ්‍ය සැපයුම් සුරක්ෂිත කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන අදාළ ගමනාන්ත කරා ළඟා වීම සදහා කටයුතු සම්පාදනය, පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) වැනි නව නිෂ්පාදන සඳහා වෙළඳපල සොයා ගැනීම සහතික කිරීම, ශ්‍රී ලංකාව සැලකිලිමත් වන කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික, කලාපීය සහ ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම ආදී කර්තව්‍යයන් සිදු කරනු ලබන අතර කොවිඩ්-19 අරමුදල සඳහා ද රුපියල් මිලියන 27 ක මුදලක් එකතු කොට පරිත්‍යාග කරන ලද බවද ප්‍රකාශ කළේය.

මෙම සන්දර්භය තුළ, අක්තගන්වන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් නොමැතිව සහ පුරප්පාඩු වූ රාජ්‍යතාන්ත්‍රික තනතුරු සහිතව ශ්‍රී ලංකා දූත මණ්ඩල 67 න් 1/3 කම ක්‍රියාත්මක වන අතර තානාපතිවරු නොමැති කාර්යාලයන්හි ශ්‍රී ලංකා විදේශ සේවයේ (SLFS) නිලධාරීන් වැඩබැලීමේ තත්ත්වයෙන් කටයුතු කිරීම සැලකිල්ලට ගත යුතු කරුණක් බව විදේශ ලේකම් ආර්යසිංහ මහතා පැවසීය. පීඩාවට පත් වූ ප්‍රජාවන් සමඟ කටයුතු කරන අතරතුර දී, බරපතල අවස්ථාවන්ට මුහුණ දීමට සහ අවදානම් තත්වයන් හඳුනා ගැනීම පිණිස සත්කාරක රටෙහි පවතින තත්වයන් විශ්ලේෂණය කිරීමේ දී අප්‍රමාදීව හා සිතාමතා තීරණ ගැනීම ආදී වූ අත්දැකීම් ලබා ගැනීමට දූත මණ්ඩල ප්‍රධානී තනතුරුවල වැඩබලන ශ්‍රී ලංකා විදේශ සේවයේ තරුණ නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා මෙය කදිම අවස්ථාවක් බවට පත්ව ඇති අතර එවැනි අත්දැකීම් ඔවුන්ගේ අනාගත වෘත්තිය සාරවත් කරනු ඇති අතර, ඔවුන්ගේ වෘත්තිමය දියුණුව සඳහා ඔවුන්ට හොඳ ස්ථාවරයක් ලබා දෙනු ඇතැයි ද විදේශ ලේකම්වරයා විශ්වාසය පළ කළේය.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 මැයි 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close