එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 17,000 කට අධික පිරිසක් ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වෙති

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 17,000 කට අධික පිරිසක් ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වෙති

map

මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ. මෙයින් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන් ද, 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද වෙති.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද මෙම මාර්ගගත ද්වාරය, 2020 මාර්තු 26 වැනි බ්‍රහස්පතින්දා දියත් කරන ලදී. එය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද ඊට පිවිසිය හැකිය. එමඟින් ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යොදවා ඇත.

‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා මෙතෙක් ලැබී ඇති විමසීම් 700 කින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නැවත මෙරටට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, ඊයේ (මාර්තු 27) රජය විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමට අනුව, COVID-19 වෛරසය ආසාදනය වීමේ අවදානම අවම වන තෙක් සහ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වාගන්නා තෙක් ඔවුන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින ලද අතර, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ක්ෂණික ගැටලු සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම සහ විසඳුම් ලබා දීම පිණිස මෙම අමාත්‍යාංශය සිය දූත මණ්ඩල ජාලය හරහා පියවර කිහිපයක් ගෙන ඇත. ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ සුභසාධනය, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, රැකියා විරහිතයින්ට මූල්‍ය ආධාර නොමැතිකම, වැටුප් නොගෙවීම, වාණිජ ආයතන වසා දැමීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී සිදු කෙරෙන නිරෝධායනය පිළිබඳ ප්‍රශ්න යනාදිය, අනෙකුත් පොදු විමසීම් අතරට ඇතුළත් වේ.

සංචාරය කිරීමට බාධා පැමිණීමෙන් අනතුරුව ගත වූ පසුගිය සති දෙක තුළ දී, විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාවන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සුපරීක්ෂාකාරී වී ඇති අතර, ඒ සඳහා විසඳුම් ලබා දීමට කඩිනමින් පියවර ගෙන තිබේ. නේවාසිකාගාර විවෘතව පැවතීම හා ආහාර පාන/ප්‍රතිපාදන සැපයීම අදාළ ආයතන විසින් පවත්වාගෙන යාම සහතික කිරීම මෙන්ම, ඔවුන්ට වෛද්‍ය ආධාර අවශ්‍ය  වේ නම් එම වෛද්‍ය පහසුකම් වෙත යොමු කිරීම සහ හැකි සෑම අවස්ථාවකදීම සිසුන්ගේ විශ්වවිද්‍යාල/පාසල්වලට කෙරෙන ගෙවීම් සඳහා කාලය දීර්ඝකිරීම් ලබා ගැනීමට කටයුතු කිරීම, මෙසේ ක්‍රියාත්මක කර ඇති සමහර ක්‍රියාමාර්ග අතර වේ. එම අධ්‍යාපන ආයතන, ශ්‍රී ලාංකික සිසුන් හා ශිෂ්‍ය ප්‍රජාව සමඟ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ සුභසාධනය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද මෙම දූත මණ්ඩලවලට උපදෙස් දී තිබේ.

විශේෂයෙන් මැදපෙරදිග හා ආසියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල සත්කාරක රජයන් සමඟ එක්ව විදේශගත ශ්‍රී ලාංකික සේවකයින්ට හැකි තාක් දුරට සාධාරණ සැලකිල්ල හා සහන ලබා දීම සුරක්ෂිත කිරීමට කටයුතු කරනු ඇත. වැටුප් ගෙවීමට අදාළව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම ද මෙයට ඇතුළත් ය.

පුළුල් වශයෙන් ශ්‍රී ලාංකික ජනගහනය සම්බන්ධයෙන්, වේගයෙන් වෙනස් වෙමින් පවතින තත්ත්වය හමුවේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ ආධාර අවශ්‍ය වන ශ්‍රී ලාංකිකයින් සඳහා ආධාර සැපයීමේ දී ශ්‍රී ලාංකිකයින් විසින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා සංගම්, සංවිධාන සහ පූජනීය ස්ථාන සමඟ සම්බන්ධ වන ලෙස ද මෙම දූත මණ්ඩලවලින් ඉල්ලා ඇත. මූලික වශයෙන් ආහාරපාන හා වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන ලෙස මෙම දූත මණ්ඩලවලින් ඉල්ලා ඇත.

COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ රටවල් විසින් නිකුත් කර ඇති පාලන ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින්, දැනට තම රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් සලසන ලෙස, මීට පෙර මාර්තු 18 වැනි දින ශ්‍රී ලංකාව විදේශ රජයන්ගෙන් ඉල්ලා සිටියේය. රාජ්‍යයන් ගණනාවක් මෙම ඉල්ලීමට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වා ඇති අතර, මෙම ක්‍රියාවලිය සඳහා වන ක්‍රමවේදයන් එම පීඩාවට පත් වූවන් වෙත සන්නිවේදනය කරන ලෙස මෙන්ම, දැනට ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශීය ජාතිකයන් සඳහා මෙම මාර්තු මස මැද සිට ශ්‍රී ලංකාව මෙම පහසුකම ලබා දී ඇති හෙයින්, අන්‍යෝන්‍ය  ලෙස විධිවිධාන සකස් කිරීම සඳහා අනෙකුත් සත්කාරක රජයන් සමඟ කටයුතු කරන ලෙස ද, එම ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් ඉල්ලා තිබේ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මාර්තු 28 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close