ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නෝර්වීජියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නෝර්වීජියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

නෝර්වේ රාජධානියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්‍රියාස් මොට්ස්ෆෙල්ට් ක්‍රාවික්, 2026 මාර්තු 3 වැනි දින සිට 4 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය ද්විපාර්ශ්වික  සම්බන්ධතාවයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ අතර එය ආසන්න වශයෙන් වසර අටකට පසු දෙරට අතර සිදුවූ ඉහළම මට්ටමේ සම්බන්ධතාව ලෙස සැළකේ. මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරයට සමගාමීව සිදු විය.

මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ක්‍රාවික්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ නිල සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡා, මිත්‍රශීලී සහ ඵලදායී මුහුණුවරක් ගත් අතර, දේශපාලන සබඳතා, වෙළඳාම සහ ආයෝජන, සංවර්ධන සහයෝගීතාව, ධීවර සහයෝගීතාව, හරිත බලශක්තිය සහ පාරිසරික ආරක්ෂාව ඇතුළු පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍ර කෙරෙහි එහිදී අවධානය යොමු විය. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමේ නව මාර්ග ද අමාත්‍යවරුන් දෙදෙනා ගවේෂණය කළහ.

දූෂණ විරෝධී, දේශපාලනික හා සදාචාරාත්මක පරිවර්තනය, පාලනය, නීතියේ ආධිපත්‍යය, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ මුලපිරීම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර නෝර්වීජියානු දුත පිරිසට පැහැදිලි කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ ජාත්‍යන්තර නීතියේ මූලධර්ම කෙරෙහි ඇති හවුල් කැපවීම නැවත තහවුරු කරමින්, වත්මන් කලාපීය සහ ගෝලීය භූ දේශපාලනික වර්ධනයන් පිළිබඳව ද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
නෝවීජියානු දුත පිරිස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෙටි සංචාරයක ද නිරත විය.

සිය සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අමාත්‍ය ක්‍රාවික්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ද හමුවී, තිරසාර ධීවර කළමනාකරණයේ වැදගත්කම හඳුනා ගනිමින්, ධීවර අංශයේ සහයෝගීතාව, සමුද්‍රීය පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීමට එරෙහිව සටන් කිරීම පිළිබඳව සාකච්ඡා කළේය.

මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර දිගුකාලීන මිත්‍රත්වය යළිත් තහවුරු කළ අතර එළැඹෙන වසරවලදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට නව අවස්ථා සැපයීය.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ 01

2026 මාර්තු 05 වැනි දින

Please follow and like us:

Close