ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානය වෙත ඉදිරිපත් කළ සාමාජිකත්ව අයදුම්පත "ප්‍රතික්ෂේප වී ඇති” බව පැවසෙන ඇතැම් දේශීය මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැත

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානය වෙත ඉදිරිපත් කළ සාමාජිකත්ව අයදුම්පත “ප්‍රතික්ෂේප වී ඇති” බව පැවසෙන ඇතැම් දේශීය මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැත

බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේපවී ඇති බවට ඇතැම් දේශීය මාධ්‍යවල පළවූ සාවද්‍ය සහ නොමඟ යවන සුළු වාර්තා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

2024 ඔක්තෝබර් 7 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පරිදි, ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර ඇත. බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වන ශ්‍රී ලංකාවේ අභිප්‍රාය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන්ට ලිපි මඟින් දන්වා සිටියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මේ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිට ලිඛිතව දන්වා සිටියේය.

2024 ඔක්තෝබර් 22 වැනි දින සිට 24 වැනිදා දක්වා රුසියාවේ කසාන් නුවර පැවති බ්‍රික්ස් සමුළුවේදී, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලෙස විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ප්‍රකාශ කළාය. සමුළුවේදී, බ්‍රික්ස් සාමාජික රටවල් විසින් නව හවුල්කාර රටවල් කාණ්ඩයක්ද අනුමත කරනු ලැබූ අතර, ‘බ්‍රික්ස් සංවිධානය සඳහා ගෝලීය දකුණේ රටවල් දක්වන සැලකිය යුතු උනන්දුවද’ (කසාන් ප්‍රකාශය) පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය අපේක්‍ෂා කරමින් සිදුකර ඇති ඉල්ලීම් බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් විසින් ඉදිරියේදී සලකා බැලෙනු ඇත.

නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමේ ශ්‍රී ලංකාවේ අභිප්‍රාය නව සංවර්ධන බැංකුවේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබීය. විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියා පටිපාටි සහ කාල සීමාවන් සමාලෝචනය කරනු ඇත.

“ශ්‍රී ලංකාවේ බ්‍රික්ස් අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇත” මැයෙන් ඇතැම් දේශීය මාධ්‍යවල පළ වූ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැත.

2024 නොවැම්බර් 6 වැනි දින පැවැති පශ්චාත් අමාත්‍ය මණ්ඩල මාධ්‍ය සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සාවද්‍ය ලෙස හුවා දක්වා තිබීම කණගාටුවට කරුණකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 2024 නොවැම්බර් 10 වැනි දින

Please follow and like us:

Close