විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සඳහා එකඟතාව පළවෙයි

විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සඳහා එකඟතාව පළවෙයි

08

විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ වී තිබේ. විදේශ සබඳතා අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) අතර සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම එකගතාව පළ විය. සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීම සඳහා වන කාල රාමුවක් පිළිබඳව රජය තීරණය කළ පසුව ඔවුන් සියරට පැමිණවීමට පහසුකම් සැලසීමට මේ අනුව අපේක්ෂා කෙරේ.

අද (2020 මැයි 04) දින විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් අදාළ ආයතන සමඟ පවත්වන ලද රැස්වීමක දී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණ.

ආපසු මෙරටට පැමිණීම සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා සංක්‍රමණික ශ්‍රමිකයන් දක්වා ඇති උනන්දුව සහ කුවේටය සහ ජෝර්දානය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමාව ද මෙහි දී සමාලෝචනය කරන ලදී. විශේෂයෙන් මාලදිවයිනේ සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් මුහුණ දෙන අවදානම සහ ඊට පිළියම් යෙදිය හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කෙරිණ. වඩාත්ම පීඩාවට පත් ශ්‍රී ලාංකික සංක්‍රමණික ප්‍රජාවන්ට වියළි සලාක ලබා දීම සඳහා විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන ද ඇගැයීමට ලක් කරන ලදී.

අදාළ විදේශ රජයන් සමඟ දැනට පවත්වා ඇති සාකච්ඡා පිළිබඳව සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම, දැනට සිදුකෙරෙමින් පවතින නිරෝධායන ක්‍රියාවලියට අනුකූලව සිදුවිය යුතු බවට සහතික වෙමින් අදාළ රාජ්‍යයන් වෙත ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා දරන උත්සාහයන් පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා රැස්ව සිටි පිරිස වෙත කරුණු පැහැදිලි කළේය.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන) සුජීව තිසේරා මහේමිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් සරත් රූපසිරි මහතා, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම රැස්වීමට සහභාගී විය.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මැයි 04 වැනි දින
16
13
Print Friendly, PDF & Email
Please follow and like us:

Close