නව විදේශ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා සිය ධුරයේ වැඩ භාරගනියි

නව විදේශ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා සිය ධුරයේ වැඩ භාරගනියි

????????????????????????????????????

ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන තානාපති රවිනාථ ආර්‍ය්‍යසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අද දින (31) සිය ධුරයේ වැඩ භාරගත්තේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඒ මහතා මෙම තනතුරට පත්කරන ලදී.

අද දින උදෑසන අමාත්‍යාංශයට පැමිණි නව විදේශ ලේකම් ආර්‍ය්‍යසිංහ මහතා අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.

ආර්‍ය්‍යසිංහ මහතා මීට පෙර 2018 අප්‍රේල් මස සිට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳාම පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

1988 වසරේ ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු ඒ මහතා, නව දිල්ලියේ දෙවැනි ලේකම්වරයා ලෙසත් (1989-1991), වොෂිංටන් නුවර නියෝජ්‍ය තානාපතිවරයා ලෙසත් (2002-2006) කටයුතු කළේය. 2008 අප්‍රේල් සිට 2012 ජුනි දක්වා කාලයේ බෙල්ජියමේ හා ලක්සම්බර්ග්හි ශ්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද ඒ මහතා කටයුතු කළේය. ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස හා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස 2012 ජුලි මස සිට 2018 මාර්තු මස දක්වා කටයුතු කළ ආර්‍ය්‍යසිංහ මහතා ඊට සමගාමීව වතිකානුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කළේය. ආර්‍ය්‍යසිංහ මහතා 1995 – 2000 හා 2007 – 2008 යන කාලය තුළ පොදු සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරද හෙබවීය.

1993 – 1995 කාලය තුළ විදේශ සේවයෙන් නිවාඩු ලබාගත් ඒ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ජාතික තොරතුරු නිලධාරියා ලෙස සේවය කළේය. ශ්‍රී ලංකා විදේශ සේවය හා එක්වීමට පෙර ඒ මහතා ජාතික රූපවාහිනී නාලිකාව ස්ථාපිත කිරීමෙහිලා පුරෝගාමියෙකු ලෙස කටයුතු කර ඇත. 1982 සිට 1988 දක්වා ඔහු ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ දේශපාලන වාර්තාකරුවෙකු හා ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස සේවය කළේය.

විදේශ ලේකම් ආර්‍ය්‍යසිංහ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකු වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. ඔහු 2001 සිට 2002 දක්වා වොෂිංටන් නුවර ඇමෙරිකා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සේවා විද්‍යායතනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ 'හර්ස්ට්' ශිෂ්‍යත්වධාරියෙක්ද විය.

විවාහකයෙකු වන ආර්‍ය්‍යසිංහ මහතා තිදරු පියෙකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2018 ඔක්තෝබර් 31 වැනිදා

 

????????????????????????????????????

Image 03

 

Image 04

Print Friendly, PDF & Email
Please follow and like us:

Close