නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි

නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදකියි

Image1

අභිනවයෙන් අක්තගන්වන ලද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා, අද දින ජනරජ ගොඩනැගිල්ලේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදුටුවේය. 2020 මැයි 14 වැනි දින පැවති අක්තපත්‍ර පිරිනැමීමෙන් අනතුරුව, මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන පළමු වැඩ කරන දිනයේ දී, මහ කොමසාරිස් බග්ලේ මැතිතුමා මෙම සුහද හමුව අතරතුර දී විදේශ සබඳතා අමාත්‍යවරයා සමඟ පුළුල් පරාසයක ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

නව මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, ඉන්දියාව සමඟ ශක්තිමත් හා ගැඹුරු සහයෝගීතාවයක් සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ කැපවීම සහතික කළ අතර, මෙම කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ අඛණ්ඩව දක්නට ලැබෙන හොඳ හිත හුවමාරු කර ගැනීම අගය කළේය. තම ‘අසල්වැසියන් සඳහා පළමුව’ ප්‍රතිපත්තිය තුළින්, ශ්‍රී ලංකාව සමඟ පවත්නා සමීප සහයෝගීතාවය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා  සහතික කරන බව මහ කොමසාරිස් බග්ලේ මැතිතුමා දැන්වීය.

සමුද්‍රීය සහයෝගීතාව, ආරක්ෂක හුවමාරුව, ආහාර හා සෞඛ්‍ය සුරක්‍ෂිතතාව සහතික කිරීම, ධාරිතාව ඉහළ නැංවීම සහ තාක්‍ෂණික සහයෝගීතාව සඳහා සහයෝගීතාව ඉහළ නැංවීම තුළින්, පශ්චාත් කොවිඩ්-19 නව ජාත්‍යන්තර පරිසරය තුළ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන පරිදි, වෙළඳාම, ආයෝජන, සංවර්ධනය සහ දේශපාලන සබඳතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට මෙම මැතිතුමන් දෙපළ එකඟ වූහ. දෙරට අතර පුරාණයේ සිට පැවත එන හින්දු-බෞද්ධ සංස්කෘතික බැඳීම්වල පදනම පාදක කොට ගනිමින් දෙරට අතර සංචාරක හුවමාරු යළි ආරම්භ කිරීමට ද එකඟ විය. දෙරට අතර එලැඹීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුම් සහ අනෙකුත් ද්විපාර්ශ්වික ගිවිසුම් පිළිබඳව පසු විපරම් කිරීමට ද දෙපාර්ශ්වයම එකඟ වූහ.

මෙම සුහද හමුව සඳහා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මැයි 26 වැනි දින
Image2
Print Friendly, PDF & Email
Please follow and like us:

Close