නව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා රාජකාරී භාරගනියි

නව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා රාජකාරී භාරගනියි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා (පී.එච්.ඩී) විදේශ ලේකම් තනතුරට පත්කරනු ලැබීමෙන් අනතුරුව, එතුමා අද දින (අගෝස්තු 14) විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් රාජකාරී භාර ගත්තේය.

නව විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ මහතා අද උදෑසන විදේශ අමාත්‍යාංශයේදී, එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

අද්මිරාල් කොළඹගේ මහතා, 2019 දෙසැම්බර් මස සිට අතිගරු ජනාධිපතිතුමාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්වරයා විය.  තවද, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙතුමා දැනට සේවය කරමින් සිටියි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36ක සේවා කාලයකින් පසුව, 2014 ජුලි 01 දින නාවික හමුදාපතිවරයා ලෙස සේවයෙන් විශ්‍රාම ගිය මෙතුමා 18  වැනි ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා වන අතර රණබිමේදී දැක් වූ රණ ශූරත්වය සහ නාවික හමුදාව වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී සේවය වෙනුවෙන් පිදුම් ලැබූ පදක්කම් ලාභියෙකුද වෙයි.

නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව, අද්මිරාල් කොළඹගේ මහතා කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ බුද්ධි මණ්ඩල හා පර්යේෂණ මධ්‍යස්ථානයක් වන පාත්ෆයින්ඩර් පදනමේ ඉන්දු ශ්‍රී ලංකා හා සාගර නීති මධ්‍යස්ථානවල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.  මෙතුමා ජාත්‍යන්තර දේශපාලනය, උපායමාර්ගික හා සමුද්‍රීය ආරක්ෂාවට අදාළ ක්ෂේත්‍ර පිළිබඳ විවිධ ශාස්ත්‍රීය ලේඛණ  ඉදිරිපත් කරමින්, කණ්ඩායම් සාකච්ඡාවලට සහභාගී වෙමින් සහ සැසිවාරවල සභාපතිත්වය දරමින් ද්විපාර්ශ්විය, කළාපීය හා ජාත්‍යන්තර සංසඳ රැසකදී පාත්ෆයින්ඩර් පදනම හා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

අද්මිරාල් කොළඹගේ මහතා ශ්‍රී ලංකාවේ මෙන්ම, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව හා පාකිස්ථානය යන රටවල විශ්ව විද්‍යාලවල සහ පුහුණු ආයතනවල ආරාධිත කථිකාචාර්යවරයෙකි.  ජාත්‍යන්තර වශයෙන් සුප්‍රසිද්ධ අධ්‍යයන සඟරා රැසක සංස්කාරකවරයෙකු හා විචාරකයෙකු ද වෙයි.

විදේශ ලේකම් අද්මිරාල් කොළඹගේ මහතා ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත්, මැඩ්‍රාස් විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියත්, ලන්ඩන් හි කිංස් කොලීජියෙන් ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන තිබේ.  “ඒසෙමෙට්‍රික් වෝර්ෆෙයාර් ඇට් සී; ද කේස් ඔෆ් ශ්‍රී ලංකා” නම් වු මෙතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධනය ජර්මනියේ ලැම්බර්ට් ඇකඩමික් පබ්ලිෂිං මගින් ප්‍රකාශයට පත් කර තිබේ.  මෙතුමා ලන්ඩන් නෝටිකල් ආයතනයේ (Nautical Institute of London) හි සාමාජිකයෙකුද වෙයි.

 

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 අගෝස්තු  14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close