මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලයි

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් විදේශ රටවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලයි

1 small

බුදුදහම, මැණික්, තේ, කුළුබඩු, විශිෂ්ට තත්ත්වයේ අපනයන නිෂ්පාදන සහ සාම්ප්‍රදායික             ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාර වැනි අප රටට ආවේණික සන්නාම භාවිතා කරමින්, මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය කාර්යක්ෂම සහ ඵලදායි ලෙස භාවිතා කිරීම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශ රටවලදී වර්ධනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා  ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍ය මාරපන මහතා විසින් මෙම ඉල්ලීම කරනු ලැබූයේ, සිය නිලධාරීන්ගේ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ ජනමාධ්‍ය සබඳතා පිළිබඳ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කළ මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ජනමාධ්‍ය සබඳතා පිළිබඳ දෙසති පුහුණු වැඩසටහනේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් සිකුරාදා දින (ජනවාරි 11) පැවැති අවස්ථාවේදීය.       ශ්‍රී ලංකා විදේශ සේවයට 2018 වසරේදී බඳවා ගනු ලැබූ නවක නිලධාරීහු සහ දැනට අමාත්‍යාංශයේ සේවය කරන මධ්‍යම මට්ටමේ නිලධාරීහු කණ්ඩායමක් මෙම පුහුණු වැඩසටහනට සහභාගී වූහ.

මහජන රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ජනමාධ්‍ය සබඳතා වෙනුවෙන් කැපවූ මෙවැනි වෘත්තීමය පුහුණු වැඩසටහනක් විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූයේ දශක දෙකකට පසු පළමු වරටය.

සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය අමතා කතා කළ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා, එකිනෙකා කෙරෙහි කරුණාව දක්වන මෛත්‍රියෙන් පිරි ජනතාවගෙන්ද සුලබව ඇති කුසලතාවලින්ද සමන්විත ශිෂ්ට සම්පන්න රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විදේශ රටවල නිරූපණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. “එම පණිවිඩය ඉතා පැහැදිලිව ලබා දිය යුතු” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම ප්‍රතිරූප වර්ධන ව්‍යායාමයේදී සහ ශ්‍රී ලංකාව පිළිබඳව ඇති අවබෝධයන් වෙනස් කරලීමේදී නව්‍යතාවෙන් යුතුව සිතා කටයුතු කරන ලෙසට ඔහු         ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේය. මෙම කාර්යයන්වලදී මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජනමාධ්‍ය සබඳතා පිළිබඳ කුසලතා බෙහෙවින් ප්‍රයෝජනවත් වන බවද අමාත්‍යවරයා පැවැසීය.

මෙම උත්සවය ඇමතූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් මෙරටදී මෙන්ම විදේශවලදීද විදේශ කටයුතු අමාත්‍යාංශයට ප්‍රධාන භූමිකාවක් රඟදැක්වීමට ඇති බවත්, ඊළඟ විසි වසර තුළ රජයේ මහජන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතාවලින් ශ්‍රී ලංකා විදේශ සේවයේ විවිධ මට්ටම්වල කණ්ඩායම් රැසක් සන්නද්ධ කිරීමට මෙම ප්‍රබල පුහුණු වැඩසටහන සමත් වූ බවත් ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ජනමාධ්‍ය සමඟ සබඳතා ගොඩ නඟා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ඒ මහතා,චිරස්ථායි සම්බන්ධතාවකට මඟ පාදමින්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සහ ජනමාධ්‍යවේදී ප්‍රජාවට එකිනෙකාගේ දෘෂ්ටිකෝණ අවබෝධ කරගැනීමේ කර්තව්‍යයේ නියැළීමේ වේදිකාවක් මෙම දෙසති පුහුණු වැඩසටහන විසින් නිර්මාණය කරන ලද බව පැවැසීය.

මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සංකල්ප සහ ක්‍රමවේද, එහි මානයන් සහ තොරතුරු යුගයේ එහි භූමිකාව පිළිබඳව සහභාගීවන්නන් තුළ අවබෝධයක් ඇති කිරීමට සහය වීම අරමුණු කරගත් මෙම පුහුණු වැඩසටහන, සිය රාජකාරි කටයුතුවලදී විවිධ මහජන රාජ්‍යතාන්ත්‍රික මෙවලම් ප්‍රායෝගික වශයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් පුහුණු කිරීම පිණිස සකස් කොට තිබිණි. මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ඉතිහාසය, ජනමතය ගොඩනැංවීමෙහිලා ජනමාධ්‍යවල භූමිකාව, සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය සමඟ කටයුතු කිරීම, හා තොරතුරු දැනගැනීමේ පනතෙහි සන්දර්භය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු පුළුල් පරාසයකට අයත් කරුණු ආවරණය කරමින් ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන්, කොළඹ සිටින විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රාමාණිකයන් සහ වෘත්තිකයන් විසින් මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සහ ජනමාධ්‍ය සබඳතාවල න්‍යායාත්මක අංග පිළිබඳව කරනු ලැබූ දේශන ඊට ඇතුළත් විය.

මාධ්‍ය නිවේදන ලිවීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, සම්මුඛ සාකච්ඡා ලබාදීම සහ සමාජ මාධ්‍ය ඵලදායි ලෙස භාවිතා කිරීම වැනි මහජන රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රායෝගික අංග සම්බන්ධයෙන් මෙරට වාසය කරන විදේශ වාර්තාකරුවන් සහ විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ද ඇතුළුව ප්‍රාමාණිකයන් සහ වෘත්තිකයන් සමඟ පැවැත්වූ සැසිවාරද පුහුණු වැඩසටහනට ඇතුළත් විය. වැඩසටහනට සහභාගී වූ නිලධාරීහූ රූපවාහිනි කැමරා ඉදිරිපිට පැවැත්වූ ව්‍යාජ මාධ්‍ය සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවලටද මුහුණ දුන්හ.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම (ලේක් හවුස් ආයතනය) වෙත ගිය ඔවුහු ප්‍රවෘත්ති කාමරය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අත්දැකීම් ලැබූහ.

ජනමාධ්‍ය සමඟ පවත්වන සබඳතාවලදී ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට වඩා හොඳින් කටයුතු කළ හැක්කේ කෙසේද යන්න ගැනත් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ විදේශවල ඇති ජනමාධ්‍ය සතුව පවතින අවශ්‍යතා ගැනත් වැඩසටහනට සහභාගී වූ නිලධාරීහූ ජනමාධ්‍යවේදීන් සමඟ සාකච්ඡා කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ හා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ නිලධාරීහූ සහ පුහුණු වැඩසටහනෙහි සම්පත් දායකයෝ මෙම සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වූහ. සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයෙන් අනතුරුව ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 ජනවාරි 13 වැනිදා

????????????????????????????????????

3 small

Print Friendly, PDF & Email
Please follow and like us:

Close