විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට අදාළ ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කිරීමේ නව ක්‍රමවේදයක් විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදෙයි

විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ට අදාළ ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කිරීමේ නව ක්‍රමවේදයක් විදේශ කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදෙයි

විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදුකිරීමේදී හෝ එම මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් ඉදිරිපත් කළ යුතු දිවුරුම් ප්‍රකාශ, අනන්‍යතා ලේඛන හා අනෙකුත් ලියකියවිලි දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව හඳුන්වා දී තිබේ.

මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට පෙර, විදේශ රටවලදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘතදේහ මෙරටට ගෙන්වා ගැනීමේදී හෝ විදේශ රටකදී අවසන් කටයුතු සිදු කිරීමට අවසර ලබා දීමේදී හෝ අවශ්‍ය වන ලියකියවිලි කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත ඉදිරිපත් කිරීමට එම පුද්ගලයන්ගේ ඥාතීන්ට සිදුවිය. නව ක්‍රමය යටතේ, අදාළ ලියකියවිලි ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදීමට ඥාතීන්ට හැකි අතර ඉන් අනතුරුව එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් එකී ලියකියවිලි අවශ්‍ය කටයුතු සඳහා කොන්සියුලර් අංශය වෙත යොමු කෙරෙයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදීමට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට උපදෙස් ලබාදෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් දැනටමත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශය වෙත හෝ යාපනයේ පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය වෙත හෝ නොගොස් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අවශ්‍ය ලියකියවිලි භාරදීමේ හැකියාව මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට මෙම නව ක්‍රමවේදය හරහා ලැබී ඇත. දුර බැහැර පළාත්වල සිටින ජනතාව මෙම නව ක්‍රමය යටතේ විශේෂයෙන් ප්‍රතිලාභ ලබනු ඇති අතර පවුලේ මරණයක් සිදුව ඇති ශෝකජනක අවස්ථාවක කොළඹ හෝ යාපනය වෙත දුර ගෙවා පැමිණීමද, අනවශ්‍ය ප්‍රමාදවීම් හා වියදම්ද මඟ හරවා ගැනීමට මෙම ක්‍රමයෙන් ඔවුන්ට අවස්ථාව සැලසේ.

මෙම ක්‍රමවේදය හඳුන්වාදීම නවමු, විමධ්‍යගත හා වඩාත් දියුණු කොන්සියුලර් සේවාවක් ජනතාව වෙත සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය දරන වෑයමෙහි තවත් ඉදිරි පියවරකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 මාර්තු 23 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close