අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විදේශ අමාත්‍යංශ නිලධාරීන් සමඟ එක්ව විදේශගත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වන ප්‍රායෝගික විසඳුම් පිළිබඳව ගවේෂණය කරයි

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විදේශ අමාත්‍යංශ නිලධාරීන් සමඟ එක්ව විදේශගත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වන ප්‍රායෝගික විසඳුම් පිළිබඳව ගවේෂණය කරයි

Pic 01

මෙම දුෂ්කර කාල සීමාවේ දී විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ සුභසාධනය, දැනට මෙම ප්‍රජාවන් මුහුණ දී සිටින දුෂ්කරතා සහ එම විදේශගත ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා වන ප්‍රායෝගික විසඳුම් පිළිබඳව ගවේෂණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද දින විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය.

මෙම සතිය මුල දී, COVID-19 වසංගතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සහ වහාම ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති නොහැකියාව මධ්‍යයේ, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ වර්ධනය වෙමින් පවත්නා ගැටලු පිළිබඳව සැලකිල්ලට ගනිමින්, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ යහපැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැනට ගනු ලබන හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙම අමාත්‍යාංශය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සාකච්ඡා පැවැත්වීය.

විශේෂයෙන් මැද පෙරදිග රටවල සිටින සංක්‍රමණික සේවකයින්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී, එවැනි ගැටලුවලට යෝග්‍ය විසඳුම් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම කාලය තුළ දී ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර ආර්ථික හා වෙළඳ සබඳතා පවත්වාගෙන යාමේ වැදගත්කම ද විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා, විශේෂයෙන් තේ සඳහා වූ නව වෙළඳපොළ පිළිබඳව ගවේෂණය කිරීමටත්, ඇඟලුම් වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා දැනට පවත්නා වෙළඳපොළ ශක්තිමත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල කාර්ය මණ්ඩලය ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සේවය සහ මෙම දුෂ්කර කාල පරිච්ඡේදය තුළ දී ඔවුන් දැක්වූ කැපවීම පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ප්‍රශංසා කළේය. ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2020 අප්‍රේල් 03 වැනි දින

Pic 2
Print Friendly, PDF & Email
Please follow and like us:

Close