Media reports on Sri Lankan migrant workers

Media reports on Sri Lankan migrant workers

 

විදේශ රැකියාවන් වල නිරත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන්නා වූ ගැටළු සම්බන්ධයෙන් තොරතුරු සැපයීමේදී මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද ප්‍රායෝගික කාර්ය භාරයක් ඉටු කරති.

සියළු පාර්ශ්වකරුවන්ට සේවා සැපයීම සඳහා තානාපති කාර්යාලයක් වශයෙන් අප ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිචාර, නිර්මාණාත්මක යෝජනා සහ වටිනා තොරතුරු උපකාර වන හෙයින් මාධ්‍ය විසින් ඉටු කරනු ලබන මෙවන් සේවාවන් අප ඉහලින් අගය කරමු.

එනමුත්, “හෙළිදරව්” යනුවෙන් හඳුන්වමින් මෙම තානාපති කාර්යාලය ද සම්බන්ධ කරමින් මාධ්‍ය තුළ මෑතකදී සංසරණය වූ ඇතැම් වීඩියෝ දර්ශන සහ ඒවා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සිදුකර ඇති අර්ථකථන කෙරෙහි අපගේ අවධානය මේ වන විට යොමු වී ඇත.

පෙර අවස්ථාවන්හි මාධ්‍ය හරහා ඉදිරිපත් වූ තොරතුරු පදනම් කර ගනිමින් ඒවා කෙරෙහි අප්‍රමාදව සිය අවධානය යොමු කර අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට මෙම තානාපති කාර්යාලයට හැකි වී ඇත.  එනමුත් ඇතැම් අවස්ථාවන්හි මෙසේ ඉස්මතු කරන ලද තොරතුරු හේතුවෙන් පීඩාවට පත් පිරිස් තවදුරටත් විපතට පත්වීම මෙන්ම, ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවත්නා ද්විපාර්ශ්වීය සබඳතා ද පලුදු වන තත්ත්වයන් පවා ඉස්මතු වූ බව ද අපට කරුණු විමසීමේදී පෙනී යයි.  එනමුත් වගකීමකින් යුතුව මාධ්‍ය කටයුතු කළ බොහෝ අවස්ථාවන්හි එසේ ඉස්මතු කරන ලද ගැටළු සඳහා සාධනීය ප්‍රතිඵල ලබාදීමට මෙම තානාපති කාර්යාලයට හැකි විය.

එවන් එක් අවස්ථාවක නිදසුනක් වන්නේ අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් සෞදි අධිකරණයක් මගින් ශ්‍රී ලාංකික සංක්‍රමනික ශ්‍රමික කාන්තාවකට දෙනු ලැබූ නඩු තීන්දුවයි. මෙහිදී අදාල ශ්‍රමික කාන්තාවගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍ය හෙළි නොකළ අතර,  එම හේතුව නිසාවෙන්ම ඇය සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීමට මෙම කාර්යාලයට නිසි අවකාශයක් ලැබුණි.  ඇයට නියම වූ ගල් ගසා මරා දැමීමේ තීන්දුවට එරෙහිව මෙම තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කළ අභියාචනය හේතුවෙන් එම මුල් දඩුවම සිර දඩුවමකට යටත් කර අවසන් වීම සිදු විය.  මේ වන විට එම ශ්‍රමික කාන්තාව සිය සිර දඩුවම අවසන් කර නැවතත් ශ්‍රී ලංකාවට නික්ම ගොස් ඇත.  ඇගේ අනන්‍යතාවය සහ වෙනත් විස්තර මාධ්‍ය හෙළි කළේ නම් මෙම අවසන් ප්‍රතිඵලය වෙනත් දිසාවකට ගමන් කිරීමට ද ඉඩ තිබුණි.   මෙම සිදුවීමේදී අප කෙරෙහි විශ්වාසය තැබූ සියළු මාධ්‍ය වෙත සහ අනෙකුත් සියළුම පාර්ශ්වයන්ට අපඅපගේ ස්තුතිය නැවතත් පළ කිරීමට කැමැත්තතෙමු.

ඉහත සිද්ධිය ඇසුරෙන් බලන කළ පහුගිය දිනයන්හි මාධ්‍ය හරහා ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන සහ ඒවා සම්බන්ධයෙන් සිදු කර ඇති අර්ථකථන ඇතැම් පුද්ගලයින්ගේ හෝ කණ්ඩායම් වල අවශ්‍යතාවයන්ට අනුව සිදු වූ වගකීම් විරහිත සදාචාර සම්පන්න නොවූ කටයුතු බව පැහැදිලිය.  පළමුව, මෙම වීඩියෝ දර්ශන වල අඩංගු  ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ පවුල් වලට මුහුණ දීමට සිදුවන පීඩාව සහ සමාජ අපකීර්තිය මොවුහු අනුකම්පා විරහිතව නොසළකා හැර ඇති අතර දෙවනුව, මෙම සංක්‍රමණික කාන්තාවන්ගේ කනස්සල්ලට තුඩු දී ඇති කාරණා වලට විසඳුම් සොයා දීමේ වර්තමාන නිල ක්‍රියාවලියට ද මෙවැනි ක්‍රියා හරහා සිදුවිය හැකි අවහිර බාධා ද ඔවුන් නොසළකා හැර ඇත.

මෙම හේතුවෙන්, වගකීමකින් තොර මාධ්‍ය භාවිතයේ ඇති අවදානම නැවතත් අවධාරණය කරමින් මෙවන් වීඩියෝ දර්ශන ආදිය ප්‍රචාරය කිරීමේදී වඩාත් වගකීමකින් යුතුව කටයුතු කරන මෙන් අදාල සියළු පාර්ශ්වයන්ගෙන් මෙම තානාපති කාර්යාලය කාරුණික ඉල්ලීමක් කර සිටියි.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ යහපත සඳහා නිසි ක්‍රියාමාර්ගයන් ගතහැකි තානාපති කාර්යාල බලධාරීන් වෙත මෙවැනි වීඩියෝ දර්ශන සහ තොරතුරු සෘජුව ඉදිරිපත් කරන්නේ නම් ඉන් වඩාත් ඵලදායී ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි බව ද අප මෙහිදී අවධාරණය කර සිටිමු.

අප මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් වන්නේ මෙම තානාපති කාර්යාලයේ කටයුතු වල මුඛ්‍ය පරමාර්ථය වන්නේ අප රටේත් සේවා යෝජකයින්ගේත්, සේවා දායකයින්ගේත්, අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරමින් මහජනතාවට වඩාත් කඩිනම් සේවයක් සැපයීම බවයි.

මේ අනුව තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන්නා වූ සියළු ගැටළු අපගේ උපරිම ශක්තිය යොදවා සාධාරණ අයුරින් විසඳීමට ක්‍රියා කිරීමට කටයුතු කරන බව අප නැවතත් ඔබ සියළු දෙනා වෙත මතක් කර දීමට කැමැත්තෙමු.  පීඩාවට පත්වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධව වැදගත් තොරතුරු නිල මාර්ග හරහා වඩාත් සුපරීක්ෂාකාරී ලෙස තානාපති කාර්යාලය වෙත සැපයීම මගින් අප වෙත සහයෝගය දක්වන සියළු පිරිස් වෙත අප මෙහිදී අපගේ කෘතඥතාවය පළ කර සිටිමු.

එසේම, සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත වඩාත් පුළුල් සේවාවක් ලබාදීම සඳහා මෙම තානාපති කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ලබාදෙන අර්ථකාරී විවේචන අප සතුටින් භාර ගන්නා අතරම, අපගේ සේවාවන් වඩාත් දියුණු කිරීම පිණිස ඔබ සැමගෙන් ලැබෙන සහයෝගය අප ඉදිරියේදී ද අපේක්ෂා කරණ බව දැනුම්දීමට කැමැත්තෙමු.

 

 

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රියාද් - සෞදි අරාබිය

2019 ජනවාරි 21වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close