ශ්‍රී ලංකා ජනපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වූයේ යැයි කියන බවට පළව ඇති මාධ්‍ය වාර්තා

ශ්‍රී ලංකා ජනපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වූයේ යැයි කියන බවට පළව ඇති මාධ්‍ය වාර්තා

තමන් ඝාතනය කිරීම සඳහා කළ කුමන්ත්‍රණයකට ඉන්දියානු බුද්ධි සේවයක් හවුල් වී ඇති බවට චෝදනා කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා පදනමකින් තොර හා සාවද්‍ය ඒවා බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියි.

රජයේ ඉහළම මට්ටමෙන්ද ඇතුළුව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතා ඉතාමත් ශක්තිමත් බවද, එම සබඳතා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමද ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ආවරණය කරන බවද අමාත්‍යාංශය අවධාරණය කරයි. එබැවින්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සන්දර්භයෙහි තබා නොසලකමින්,  මේ ආකාරයේ කාරණා, විකෘති කරන ලද අසත්‍ය පුවත් වාර්තාවල විෂය බවට පත්වීම කනගාටුවට කරුණකි.  එය තවදුරටත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය අනුමාන කිරීම්වලට ඉඩහසර සලසන අතර ජනතාව අතර අහේතුක බියක් පැතිරවීමටද හේතු වේ.

රජයේ ඉහළම මට්ටමෙන්ද ඇතුළුව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සහ නිරන්තර සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයමින්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද උදෑසනද කොළඹ සිටින ඉන්දියානු මහකොමසාරිස්වරයා සමඟ සාකච්ඡා පැවැත්වීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 ඔක්තෝබර් 17 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close