විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වා දෙයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වා දෙයි

OLYMPUS DIGITAL CAMERA

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත. වෙබ් අඩවියේ ලිපිනය වන  http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි.

මෙම නව අතුරු මුහුණත, වෙබ් පරිශීලකයාට හා මහජනතාවට භාවිතා කිරීමට පහසු වන අයුරින්, ජංගම දුරකථන ඔස්සේ සහ විවිධ උපාංග හා බ්‍රවුසර හරහා ප්‍රවේශ විය හැකි වන පරිදි නිර්මාණය කර ඇත.

වෙබ් අඩවියේ ප්‍රධාන අංශවලට අදාළ විස්තරාත්මක යාවත්කාලීන තොරතුරු, එනම් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විස්තර, අමාත්‍යාංශ නිලධාරීන්ගේ හා අංශවල ඇමතුම් විස්තර, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට හා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල/ සංවිධාන ආදියට අදාළ ඇමතුම් විස්තර සහ මහජනතාවට ලබාගත හැකි කොන්සියුලර් සේවා පිළිබඳ තොරතුරු මෙම නව අතුරු මුහුණතෙහි අඩංගු වෙයි. නුදුරේදීම මෙම තොරතුරු සිංහල හා දෙමළ භාෂාවලින්ද ලබාගැනීමට හැකිවනු ඇත.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අදාළ ඇමතුම් විස්තර පහසුවෙන් ලබාගත හැකිවන පරිදි ඒවා ලැයිස්තුගතකර වර්ගීකරණය කර ඇති අතර ලෝකයේ විවිධ කලාප පෙන්නුම් කෙරෙන සිතියමක් හරහා එම දූත මණ්ඩල තිබෙන ස්ථානය සොයාගැනීමේ පහසුකමද නව අතුරු මුහුණතෙන් සලසා දී ඇත. මහජනතාව වෙත වඩාත් නිවැරදි තොරතුරු ලබාදීමේ අරමුණින්, දූත මණ්ඩලය පිහිටි රටෙහි වේලාව සහ වෙබ් පරිශීලකයා වෙබ් අඩවියට පිවිසෙන ස්ථානයේත්, එම දූත මණ්ඩලය පිහිටා ඇති රටෙහිත් වේලාවල් අතර පවතින වෙනසද වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙම නව අතුරු මුහුණත හඳුන්වාදීම විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මහජනතාවට ලබාදෙන සේවය වැඩිදියුණු කිරීමටත් ඔවුන් වෙත තොරතුරු ලබාදීමටත් අමාත්‍යාංශය දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරකි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 අප්‍රේල් 20 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close