මැලේසියාවේ රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පළවන වාර්තා

මැලේසියාවේ රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පළවන වාර්තා

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවාගනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව පළවූ පුවත් වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙතින් විදේශ කටයුතු අමාත්‍යාංශයට දිගින් දිගටම විමසීම් ලැබෙමින් පවතී.

2018 මැයි 01 වැනි දින ජොහොර් බාරු හි, සෙදිලි, තන්ජුන්ග් ගමෝහ්වලදී ශ්‍රී ලාංකිකයන් බවට විශ්වාස කෙරෙන පුද්ගලයන් 131 දෙනකු රඳවා ගනු ලැබූ බව මැලේසියානු රාජකීය පොලිසියේ විශේෂ ශාඛාව තහවුරු කොට ඇත. මෙම පුද්ගලයන් 131 දෙනාගෙන් 127දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේඅංක 1959/63 දරන ආගමන පනත යටතේය. ඔවුහු මේ වන විට ජොහොර් බාරුහි පෙකන් නෙනාස් ආගමන රඳවාගැනීම් මධ්‍යස්ථානයේ රඳවා ගනු ලැබ සිටිති. ඉතිරි පුද්ගලයන් සිවුදෙනා 2007 පුද්ගල ජාවාරම් සහ සංක්‍රමණිකයන් අවහරණය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇත.

මේ වනවිට මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන අතර මැලේසියාවේ  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහූ අදාළ මැලේසියානු බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරමින් සිටිති. අත්අඩංගුවට ගත් පුද්ගලයන් 131 දෙනාගේ අනන්‍යතාව සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කරගනිමින් පවතින අතර ලැබී ඇති මූලික තොරතුරු අනුව ඔවුන්ගෙන් 43 දෙනකු සතුව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් තිබෙන බව අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයන් පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබුණු විට සුදුසු පරිද්දෙන් එම තොරතුරු ජනතාව වෙත දැනුම් දෙනු ඇති අතර එසේ ලබා දෙන තොරතුරු දැනට මේ සම්බන්ධයෙන් කෙරෙමින් පවතින විමර්ශන කටයුතුවලට බාධාවක් නොවිය යුතුය යන්න සැලකිල්ලට ගනිමින් එම දැනුම්දීම කෙරෙනු ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2018 මැයි 06 වැනිදා

 

sinpdf

 

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close