යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන ලද ඒකාබද්ධ පුවත්පත් නිවේදනය

EU-SLJtComm

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පිහිටුවා ඇති ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීම 2018 ජනවාරි මස 18 වැනි දින කොළඹදී පැවැත්විණි.

1995 දී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සහයෝගිතා ගිවිසුම යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම මගින් අධීක්ෂණය කෙරෙයි. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සහතික වීම, අන්‍යොන්‍ය වශයෙන් එකඟ වූ ප්‍රමුඛතා ඇති කිරීම සහ කාර්ය සාධක නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිසමේ කාර්යයන් අතර වේ. මේ අනුව, යුරෝපා සංගමයටත් ශ්‍රී ලංකාවටත් අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන පුළුල් පරාසයකට අයත් ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික කරුණු සම්බන්ධයෙන් කොමිසම කටයුතු කරයි.

ඒකාබද්ධ කොමිසමේ අනුදේශ යටතේ පිහිටුවනු ලැබූ පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, සහ සංවර්ධන සහයෝගිතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ඉකුත් වසරේදී රැස්විය. මේ සෑම ක්‍රියාකාරී කණ්ඩායමක් විසින්ම සිය රැස්වීම් පිළිබඳ වාර්තා ඒකාබද්ධ කොමිසමට ඉදිරිපත් කරන ලදී.

ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීම විවෘත සහ වැඩදායී ආකාරයකින් පැවැත්විණි. ලෝකයේ විශාලතම ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදනවලින් 80% කටත් වඩා බදු රහිතව අපනයනය කිරීමේ අවස්ථාව සලසමින් 2017 මැයි මාසයේදී පොදු වරණීය ක්‍රම සහනය (ජීඑස්පී ප්ලස්) නිල වශයෙන් ශ්‍රී ලංකාවට යළි ලබාදීම යුරෝපා සංගමයේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රසාදයට ලක්විය. අපනයන වර්ධනය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිකිරීමට ජීඑස්පී ප්ලස් සහනය යළි ලබාදීම ඉවහල් වූ බව පෙනී යන්නේ යැයි ශ්‍රී ලංකාව ප්‍රකාශ කළේය. පොදු වරණීය ක්‍රම රෙගුලාසිවල ලැයිස්තු ගත කර ඇති මානව හිමිකම්, කම්කරු, යහපාලනය සහ පරිසරය යන ක්ෂේත්‍රවලට සම්බන්ධ අන්තර්ජාතික සම්මුති 27 ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ජීඑස්පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට යළි ලබා දෙන ලදී.

වධහිංසා පැමිණවීමට එරෙහි සම්මුතියේ වෛකල්පික මූලලේඛයට ශ්‍රී ලංකාව මෑතදී ආබද්ධවීම දෙපාර්ශ්වයේ ප්‍රසාදයට ලක්වූ නමුදු, වධහිංසා පැමිණවීම මඳකුදු හෝ නොඉවසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවටත්, වධහිංසා පමුණුවන්නන් වහා නීතිය හමුවට ගෙන එන බවටත් ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවට එකඟතාවක් ඇති කර ගැනිණි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල වෙනත් නීතියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කඩිනම් පියවර ගනු ඇති බවට තමන් තුළ ඇති පැහැදිලි සහ තිර අපේක්ෂාව යුරෝපා සංගමය විසින් යළි අවධාරණය කරන ලදී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ඉතිරි රැඳවියන් පිළිබඳ ගැටලුව හැකි ඉක්මනින් විසැඳීමේ සැලසුම් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. මීට අමතරව, මූලික නෛතික සුරැකිතාවන් ඇති බවට සහතික වනු වස් අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා කෙරිණි.

ඉහත සඳහන් කරන ලද ජාත්‍යන්තර සම්මුති 27 හි ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් අදාල ක්‍රියාකාරී කණ්ඩායම් සහ ජීඑස්පී ප්ලස් නිරීක්ෂණ ක්‍රියාදාමය ඔස්සේ අඛණ්ඩව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට යුරෝපා සංගමය සහ          ශ්‍රී ලංකාව ඇපකැප වී සිටියි.

පුද්ගල නාශක බිම්බෝම්බවලට එරෙහි සම්මුතියට ශ්‍රී ලංකාව ආබද්ධවීමත්, ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් සම්මත කරගැනීමත්, 2017 නොවැම්බර් මාසයේදී පැවැති සිය විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය අතරතුරදී ලැබුණු නිර්දේශවලින් බහුතරයක් පිළිගැනීමත්, ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම පෙන්වන සාක්ෂි වශයෙන් දෙපාර්ශ්වය විසින්ම පිළිගන්නා ලදී.

2015 ඔක්තෝබර් 01 වැනි දින සහ 2017 මාර්තු 23 වැනි දින සම්මත කරගනු ලැබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්මත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමටද මෙම රැස්වීමෙන් අවස්ථාව උදා විය. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය දෙපාර්ශ්වයේ අවධානයට ලක් විය. සත්‍ය සෙවීම, සංහිඳියාව, හානිපූර්ණය සහ යුක්තිය අරමුණු කරගත් ඉතිරි යාන්ත්‍රණ පිහිටුවීමට ශ්‍රී ලංකාව තුළ ඇති දැඩි කැපවීමද ඔවුන්ගේ අවධානයට ලක් වූ අතර, එම යාන්ත්‍රණ කඩිනමින් පිහිටුවන ලෙස යුරෝපා සංගමය උදක්ම ඉල්ලා සිටියේය. බලයෙන් අතුරුදන් කරවීමෙන් සියලු පුද්ගලයන් ආරක්ෂා කරන ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත බලාත්මක කිරීම සම්බන්ධ ප්‍රගතිය, ‘දෘෂ්ටාන්ත නඩු’ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම ගැන ඉටු නොවුණු අපේක්ෂා, ඉඩම් තවදුරටත් මුදාහැරීම සහ ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජනජීවිතය සාමාන්‍ය අතට හැරීම ගැනද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. දැනට ක්‍රියාත්මක වමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සහ දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාව යුරෝපා සංගමය දැනුම්වත් කළේය.

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගමය ලබා දෙන සහයෝගයත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ සංහිඳියාව ආවරණය කෙරෙන පරිදි සංවර්ධන සහයෝගිතාව පුළුල් කිරීමත් ශ්‍රී ලංකාවේ ප්‍රසාදයට ලක් විය.  2014-2020 කාලපරිච්ඡේදය සඳහා යූරෝ මිලියන 210 ක් (රුපියල් බිලියන 40 ක් පමණ) ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන්කර ඇති යුරෝපා සංගමය          ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ආධාර ප්‍රදානය කරන රටවල් අතරින් එකකි. මධ්‍යම සහ ඌව පළාත්වල වාසය කරන දුගී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිස යුරෝපා සංගමය ඉකුත් වසරේදී සිය විශාලතම සහයෝගිතා වැඩසටහන දියත් කළේය. ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන යුරෝපා සංගම් ආයෝජකයන් අතර විශ්වාසය ගොඩනැංවීමේත්, තවදුරටත් ආයෝජන සිදුකිරීමෙන් ඔවුන් වලකාලන ගැටලු විසැඳීමට පහසුකම් සැපයීමේත් ඵලදායි සංසදයක් ලෙස ‘යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ආයෝජක සංවාදය’ හඳුනාගනු ලැබිණි.

ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනවලට යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත්කිරීම නිසා වැඩි වූ මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාවේ ආර්ථිකයට සහ ජීවනෝපායන්ට ලැබෙන වටිනාකම කෙරෙහි නියෝජිත පිරිස් දෙකෙහි සැලකිල්ල යොමු විය. ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සිය ධීවර කටයුතු කළමනාකරණය කිරීමට හා පාලනය කිරීමට තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකාව යළි ප්‍රකාශ කළේය.

සිය උසස් අධ්‍යාපන හා පර්යේෂණ සහයෝගිතා වැඩසටහන්වලට ශ්‍රී ලාංකික සිසුන්, විද්වතුන් සහ විශ්ව විද්‍යාල සහභාගී වීම යුරෝපා සංගමයේ ප්‍රසාදයට ලක් විය. පවතින අවස්ථා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාවෙන් තවත් අයැදුම්පත් යොමු කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියේය.

මේ වසරේ අගභාගයේදී බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ කොමිසමේ ඊළඟ රැස්වීමට පෙරාතුව පසු විපරම් පියවර රැසක් ගැනීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කළේය.

යුරෝපා විදේශ කාර්ය සේවයේ ආසියා ශාන්තිකර කලාපය භාර නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා පාඔලා පම්පලෝනි මහත්මිය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් මෙම රැස්වීමේ සම සභාපතිත්වය දරන ලදී.

 

2018 ජනවාරි 18 වැනිදා

කොළඹ

 

Welcome

DelTalks

SL1

SL2

EU1

EU2

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close