ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය : ශ්‍රී ලංකා - යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය : ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ඒකාබද්ධ කොමිසමේ 25 වැනි සැසිවාරය 2023 මැයි 09 වැනි දින කොළඹ දී සාධනීය සහ සුහද වාතාවරණයක් මධ්‍යයේ පවත්වන ලදී. ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගීතාව, දේශගුණික විපර්යාස සහ පරිසරය, ආංශික සහයෝගීතාව, ජාත්‍යන්තර ආරක්ෂක සහයෝගීතාව සහ බහුපාර්ශ්වික වේදිකා හමුවේ දක්වන සහයෝගීතාව ආදී ක්ෂේත්‍ර  ආවරණය වන ආකාරයේ ද්විපාර්ශ්වික සබඳතා රැසක් මෙහිදී  සමාලෝචනය කරන ලදී. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ යුරෝපා සංගමයේ යුරෝපීය විදේශ ක්‍රියාකාරී සේවයේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ පඕලා පැම්පලෝනි මහත්මිය විසින් මෙම රැස්වීමේ සම සභාපතිත්වය හොබවන ලදී.

ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරක් සපිරීමේ සංවත්සර සමරනු ලබන සුවිශේෂී පසුබිමක් තුළ මෙම ඒකාබද්ධ කොමිසම කැඳවන ලදී. පසුගිය වසර තුළ සමාජ හා ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදු කළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ පාර්ශ්වය දැනුම්වත් කළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළ දැක ගත හැකි ඔරොත්තු දීමේ හැකියාව සහ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමයේ පාර්ශ්වය ශ්‍රී ලංකාව පැසසුවේ ය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව යුරෝපා සංගමය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පාර්ශ්වය, ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩු පිළිබඳ තොරතුරු යාවත්කාලීන කළේ ය.

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතක දී අනුමත කළ විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව යුරෝපා සංගමය යාවත්කාලීන කළ ශ්‍රී ලංකාව, එම කර්තව්‍ය සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් යුරෝපා සංගමයට සහ එහි සාමාජික රටවලට සිය කෘතඥතාව පළ කළේ ය. ශ්‍රී ලංකාව දැනටමත් රාජ්‍ය මූල්‍ය, මූල්‍ය සහ පාලන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බවත්, දිළිඳු ජනතාව හා අවදානමට ලක්වූවන් කෙරෙහි එල්ල වන ආර්ථික බලපෑම අවම කිරීමට මෙම ප්‍රතිසංස්කරණ හරහා පියවර ගෙන ඇති බවත් මෙහිදී සඳහන් කෙරිණි. කාර්යක්ෂම සහ ඉලක්කගත සමාජ ආරක්ෂණ ජාල සතු වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ යුරෝපා සංගමය, දූෂණයට එරෙහි ශක්තිමත් ක්‍රියාමාර්ග සැලසුම්ගත ප්‍රතිසංස්කරණ තුළ ඇතුළත් වන බව සඳහන් කළේ ය. තවද, ස්වාධීන ආයතන සතු වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තවදුරටත් වැඩිදියුණු කිරීමට ඉවහල් වන 21 වැනි සංශෝධනය යුරෝපා සංගමයේ ඇගයුමට ලක් විය.

2022 ඔක්තෝබර් 28 වැනි දින පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් පැවැත්වූ ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රතිඵල සහ එහි නිගමන පසු විපරම් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙම රැස්වීමේ දී අවධානය යොමු කෙරිණි.

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව ගැසට් කරන ලද නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය සංශෝධනය කිරීමේ අරමුණින් අධිකරණ අමාත්‍යංශය මහජනතාවගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ නිරීක්ෂණ අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකාව දැනුම් දුන්නේ ය. ශ්‍රී ලංකාව අදාළ සියලුම පාර්ශ්වකරුවන් සමඟ පවත්වන උපදේශන ක්‍රියාවලියේ අරමුණ වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් ප්‍රතිස්ථාපනය කළ හැකි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නීති සම්පාදනය කිරීම යි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින රැඳවියන් තවදුරටත් නිදහස් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම අගය කළ යුරෝපා සංගමය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය.

සිවිල් සමාජය සවිබල ගැන්වීමේ වැදගත්කම සහ එහි විවිධත්වය තුළ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා දීමේ අවශ්‍යතාව ද දෙපාර්ශ්වයේ අවධානයට යොමු විය. තවද, යුක්තිය, ප්‍රතිසංස්කරණය සහ ප්‍රතිසන්ධානය යන අංශවලට අදාළව ශ්‍රී ලංකාවට සහය දැක්වීමට අඛණ්ඩව කැපවන බව යළි අවධාරණය කළ යුරෝපා සංගමය, 2023 පෙබරවාරි මස පැවති විශ්වීය වාරික සමාලෝචනයේ 4 වැනි චක්‍රය යටතේ සහ 2023 මාර්තු මස පැවති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 6 වැනි වාරික සමාලෝචනය යටතේ ජාත්‍යන්තර වේදිකා හමුවේ ශ්‍රී ලංකාව විදහා දක්වා ඇති  සහයෝගීතාව මෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳව යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළ කළේ ය. විශ්වීය වාරික සමාලෝචනයට අදාළව ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ සහයෝගීතාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ පවත්වන ඵලදායි සබඳතාව කෙරෙහි යුරෝපා සංගමය සිය අවධානය යොමු කළේ ය. මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමඟ අඛණ්ඩව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කළේ ය.

සත්‍ය සෙවීම සහ ප්‍රතිසන්ධානය පිළිබද නව කොමිසමක් දේශීය වශයෙන් පිහිටුවීම, ඉඩම් නිදහස් කිරීම සහ අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානි පූර්ණය සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාලය (ONUR) වැනි ස්වාධීන කාර්යාලවල ක්‍රියාකාරිත්වය වැනි ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාව විසින් තවදුරටත් යාවත්කාලීන කරන ලදී. ශ්‍රී ලංකාව විසින් ගනු ලැබූ උත්සාහයන් ඇගයූ යුරෝපා සංගමය, වින්දිතයින් සහ සියලුම පාර්ශ්වකරුවන් සමඟ අඛණ්ඩ උපදේශන පවත්වන ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළ අතර, මෙම කාර්යාලවල ස්වාධීනත්වය සහ ඵලදායි ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කළේ ය.

2023 අප්‍රේල් 25 වැනි දින අතථ්‍ය අයුරින් පවත්වන ලද වෙළඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නිගමන පිළිබඳව ද ඒකාබද්ධ කොමිසම මෙහිදී කරුණු විමසා බැලී ය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික වෙළඳ සබඳතාවල වැදගත්කම කෙරෙහි සිය අවධානය යොමු කළ හ. බොහෝ යුරෝපීය නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළඳපොළට ඇතුළුවීම වළක්වන ආනයන සීමා ඉවත් කරන ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ ය. 2023 ජූනි මාසය වන විට ආනයන සීමා ඉවත් කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු අභිප්‍රාය යුරෝපා සංගමයේ ඇගයුමට ලක් විය. වත්මන් ආර්ථික තත්ත්වය මධ්‍යයේ මෙම සීමාවන් ක්‍රමානුකූලව ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙහිදී සිය අභිප්‍රාය ප්‍රකාශ කළේ ය. යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ආයෝජක සංවාදය කඩිනමින් ශ්‍රී ලංකාවේ දී පැවැත්විය හැකි බවට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය. 2024 ජනවාරි 1 වැනි දින සිට බලාත්මක කිරීමට අපේක්ෂිත නව යුරෝපා සංගම් ජීඑස්පී (GSP) රෙගුලාසිය යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කරන ලදී. එය ඉදිරි වසර 10 සඳහා බලපැවැත් වේ. 2020-2022 කාලය තුළ අවසන් කළ යුරෝපා සංගම්  ජීඑස්පී+ (GSP+) අධීක්ෂණ චක්‍රයේ වාර්තාව ඉදිරි මාස කිහිපය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය තවදුරටත් දන්වා සිටියේ ය.

2023 මැයි 08 වැනි දින කොළඹ දී පැවති යුරෝපා සංගම්- ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ 6 වැනි රැස්වීමේ ක්‍රියාදාමයන් පිළිබඳව ද ඒකාබද්ධ කොමිසම දැනුම්වත් කරන ලදී. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයේ බහු වාර්ෂික දර්ශක වැඩසටහන (MIP) යටතේ වන ඒකාබද්ධ ප්‍රමුඛතා පිළිබඳව ද සාකච්ඡා කළ හ. ග්‍රාමීය සංවර්ධනය, කෘෂිකර්මාන්තය, හරිත චක්‍රීය ආර්ථිකය, යහපාලනය සහ සාමකාමී හා අන්තර්ග්‍රහණීය සමාජය යනාදී ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සඳහා සහය දැක්වීමට ගෙන ඇති තේමාත්මක ක්ෂේත්‍රවල ප්‍රගතිය දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී. රටේ සංවර්ධනය සඳහා සිවිල් සමාජය සතු වැදගත්කම යුරෝපා සංගමය විසින් අවධාරණය කරන ලදී.

නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනයක් රහිතව සිදු කරන මසුන් ඇල්ලීමේ ක්‍රම (IUU) වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා වන නව ධීවර පනත කෙටුම්පත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව විසින් යුරෝපා සංගමය යාවත්කාලීන කරන ලදී. ඉන්දියන් සාගර ටූනා කොමිසමේ (IOTC) රාමුව තුළ සහයෝගීතාව පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

සංක්‍රමණය සහ නැවත ප්‍රවේශ වීම යන කරුණු ද මෙම සාකච්ඡාවට ඇතුළත් විය.

ඉරාස්මුස් (Erasmus) + සහ හොරයිසන් යුරෝප් (Horizon Europe) රාමුව යටතේ උසස් අධ්‍යාපනය, පර්යේෂණ සහ තාක්ෂණික සහයෝගීතාව ආශ්‍රිත සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා පවතින ක්‍රමවේද පිළිබඳ තොරතුරු ද යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව විසින් හුවමාරු කර ගන්නා ලදී.

ජාත්‍යන්තර ආරක්‍ෂාව සම්බන්ධයෙන් පවතින සහයෝගීතාව ද ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් සමාලෝචනය කරන ලදී. සයිබර් ආරක්ෂාව සහ දත්ත ආරක්ෂණ ක්ෂේත්‍රය තුළ දැක ගත හැකි  ප්‍රගතිය ඉස්මතු කළ ශ්‍රී ලංකාව, ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාම සඳහා මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ නියාමනයක් තිබිය යුතු බැවින් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ය.

2023 මැයි 13 වැනි දින ස්ටොක්හෝම් හි පැවති ඉන්දු-පැසිෆික් අමාත්‍ය සමුළුව පිළිබඳව අවධානය යොමු කළ යුරෝපා සංගමය, ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාව සඳහා වන යුරෝපා සංගම් උපායමාර්ගය යටතේ පවතින වැඩසටහන් පිළිබඳව ද දැනුම්වත් කළේ ය. "Critical Maritime Routes Indo-Pacific (CRIMARIO)" වැනි වැඩසටහන් සඳහා සක්‍රීයව සහභාගී වූ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සිය ප්‍රසාදය පළ කළේ ය. තවදුරටත් සහයෝගීතාව පැවැත්විය හැකි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව සිය උද්‍යෝගය පළ කළේ ය. ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) මීළඟ සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාරගැනීමට නියමිත බවද මෙහිදී අවධාරණය කරන ලදී.

ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී දේශගුණික සෞභාග්‍ය ​​සැලැස්ම (CPP) සහ හරිත ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් වන මාර්ග සිතියම යුරෝපා සංගමයේ ඇගයුමට ලක් විය. දේශගුණික අනුවර්තනය වේගවත් කරන අතරම 2050 වන විට කාබන් විමෝචනය ශුද්ධ වශයෙන් සෘණ අගයකට ගෙන ඒම  සාක්ෂාත් කර ගනිමින් දේශගුණික මූල්‍යකරණය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා වන සහයෝගීතාව පැවැත්වීම ඊට ඇතුළත් ය. යුරෝපීය හරිත ගිවිසුම (European Green Deal) ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැනුම්වත් කළ යුරෝපා සංගමය, දේශගුණික මූල්‍යකරණ විකල්ප, දේශගුණික විපර්යාස ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙන්ම පාරිසරික ආරක්ෂාව පිළිබඳව ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වේදිකා හමුවේ  ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට උනන්දුවෙන් පසුවන බව සඳහන් කළේ ය.

UNFCCC හි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP27) පිළිබඳව පසු විපරම් කිරීමට අදාළව, අලාභ හා හානි අරමුදල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සිය අදහස් හුවමාරු කර ගත් හ.

ආර්ථික අභියෝග මධ්‍යයේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා තමන් දක්වන කැපවීම සහ විදහා දක්වන ස්ථාවර ප්‍රගතිය පිළිබඳව ඉස්මතු කළ ශ්‍රී ලංකාව, තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම ජාතික මට්ටමෙන් සම්බන්ධීකරණය කිරීම, අධීක්ෂණය සහ එහි ප්‍රගතිය ඇගයීම ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති අඛණ්ඩ ප්‍රයත්න පිළිබඳව ද අවධාරණය කළේ ය.

අවසාන වශයෙන්, 2024 දී බ්‍රසල්ස් හි පැවැත්වීමට නියමිත මීළඟ ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමට පෙර ප්‍රගතිය ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කළ යුතු ක්‍රියාකාරී කරුණු මාලාවක් හඳුනා ගැනීම ඇතුළුව, 25 වැනි සැසිවාරයේ සාකච්ඡා මත පදනම්ව පසු විපරම් ක්‍රියාමාර්ග ගැනීමට දෙපාර්ශ්වය සිය එකඟත්වය පළ කළ හ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මැයි 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close