පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල ශ්‍රී ලංකාවේ දී නිරත වූ සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය

පාකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල ශ්‍රී ලංකාවේ දී නිරත වූ සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශනය

  1. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පරිදි පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු ඉම්රාන් ඛාන් මැතිතුමා 2021 පෙබරවාරි 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත විය.
  2. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සමඟ ෆෙඩරල් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වූහ. දෙරටේ නව රජයන් පිහිටුවීමෙන් පසුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරය මෙය වන අතර, එමඟින් දෙරටේ රජයන් සහ ජනතාව අතර පවතින උණුසුම් සුහදතාවය පැහැදිලිව පිළිබිඹු කෙරේ. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් උත්සවාකාරයෙන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
  3. මෙම සංචාරයේ දී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ නියෝජිත මට්ටමේ රැස්වීම් පැවැත්වීය. විවිධ සහයෝගීතා ක්‍ෂේත්‍රයන්හි බහුවිධ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය පිළිබඳව දෙපාර්ශ්වයම පුළුල් ලෙස සමාලෝචනය කළහ. අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය සනිටුහන් කළ උණුසුම් හා සුහද වාතාවරණයක් තුළ මෙම සාකච්ඡා පවත්වන ලදී. විශේෂයෙන් මෑතක දී පැවති විදේශ ලේකම් මට්ටමේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන, ඒකාබද්ධ ආර්ථික කොමිෂන් සභා සැසිවාරය සහ වාණිජ ලේකම්වරුන්ගේ මට්ටමේ සාකච්ඡා වල දී හඳුනාගත් ක්ෂේත්‍රයන්හි, ඔවුන්ගේ සමීප හා විධිමත් උපදේශන තවදුරටත් ගොඩනගා ගැනීම සඳහා මෙම සංචාරය මඟින් දෙපාර්ශ්වයටම කාලෝචිත අවස්ථාවක් සලසා දෙන ලදී.
  4. සහයෝගීතාව පුළුල් ආකාරයකින් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙපාර්ශ්වයම පුළුල් එකඟතාවකට එළඹුණු අතර, නිතර රැස්වීම් පැවැත්වීම; ඉහළ මට්ටමේ සහ නියෝජිත මට්ටමේ හුවමාරු ප්‍රවර්ධනය කිරීම; සහ අදාළ ආයතන අතර උපදේශන, සහයෝගීතාව සහ සම්බන්ධීකරණ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා එකඟ වූහ. “සාමකාමී අසල්වැසියෙකු” පිළිබඳ දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා පාකිස්තානයේ සහයෝගය ලබා දෙන බවට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා යළි අවධාරණය කළේය.
  5. සංස්කෘතික සබඳතා, මානව සම්පත් සංවර්ධනය සහ විවිධ ක්ෂේත්‍රවල ධාරිතා වර්ධනය මෙන්ම අධ්‍යාපන හා තාක්ෂණික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ දී දෙරට අතර පවතින පුළුල් සම්බන්ධතාවය පිළිබඳව දෙපාර්ශ්වයම සමාලෝචනය කළහ. පාකිස්තාන-ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන සහයෝගීතා වැඩසටහනේ (PSLHECP) කොටසක් ලෙස පාකිස්තාන පාර්ශ්වය වෛද්‍ය ක්ෂේත්‍රයේ (එම්බීබීඑස් සහ බීඩීඑස්) ශිෂ්‍යත්ව 100 ක් ප්‍රදානය කිරීම පිළිබඳව ප්‍රකාශයට පත් කළේය. මානව සම්පත් සංවර්ධනය හා ධාරිතා වර්ධනය සඳහා පාකිස්තානය දක්වන සහයෝගය ශ්‍රී ලංකා පාර්ශ්වය අගය කළේය.
  6. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන කරා ආගමික සංචාරක කර්මාන්තය තුළ විශාල අවස්ථාවක් පවතින බව වටහා ගනිමින් සහ ගාන්ධාර ශිෂ්ඨාචාරය දක්වා දිවෙන ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් පිළිබඳව අවධානය යොමු කරන අතරම, දෙපාර්ශ්වයම සංචාරක ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, පුහුණුව සහ ධාරිතා වර්ධනය ඇතුළු ආගන්තුක සත්කාර කර්මාන්තයේ විශේෂඥතාව බෙදාහදා ගැනීමේ ප්‍රතිලාභ ඉස්මතු කළහ. මහනුවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ආසියානු ශිෂ්ටාචාර හා සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවීමේ පියවර පාකිස්තාන පාර්ශ්වය නිවේදනය කළේය. අන්තර්පුද්ගල සබඳතා, සංචාරක කටයුතු, වෙළඳාම හා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ගුවන් සම්බන්ධකතාවය වැඩි දියුණු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම හඳුනා ගත්හ.
  7. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා නව මංපෙත් ගවේෂණය කිරීම පිණිස ඉහළ මට්ටමේ පකිස්ථාන-ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සමුළුවක් 2021 පෙබරවාරි 24 වැනි දින පවත්වන ලදී. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර ඵලදායී හා අර්ථවත් සම්බන්ධතාවයක් සඳහා මෙම සමුළුව මඟින් අවස්ථාවක් සලසා දී ඇත. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන දෙපාර්ශ්වයම, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍රයන්හි ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ දෙරට අතර වෙළඳ හා ආයෝජන විවිධාංගීකරණය කිරීමේ වැදගත්කම නැවත අවධාරණය කළහ. ඇමරිකානු ඩොලර් බිලියනයක ද්විපාර්ශ්වික වෙළඳ ඉලක්කයක් සපුරා ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පුළුල් කිරීම හා ගැඹුරු කිරීම සඳහා කටයුතු කිරීමට ද එකඟ වූහ.
  8. මෙම සංචාරය අතරතුර දී, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පහත සඳහන් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබන ලදී:

i.   ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ රජය අතර සංචාරක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

ii.   ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

iii.  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලයේ රසායනික හා ජීව විද්‍යාවන් පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුම

iv.   ශ්‍රී ලංකාවේ කාර්මික තාක්‍ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්ව විද්‍යාලය අතර සහයෝගීතාවය සඳහා අභිප්‍රාය

v.   ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යා විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

  1. ශ්‍රී ලංකා-පාකිස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවය, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකාබද්ධව පිළිගත්හ. දෙපාර්ශ්වය අතර පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
  2. ආරක්ෂක ක්‍ෂේත්‍රය තුළ පවත්නා ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව දෙපාර්ශ්වයම තෘප්තිය පළ කළ අතර, කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා ආරක්ෂක සංවාදය දක්වා ඉහළ නැංවීම තුළින් ආරක්ෂක අංශ සබඳතා පුළුල් කිරීම සඳහා තවදුරටත් අවස්ථාවක් ලබා දී ඇති බව සඳහන් කළහ. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ඩොලර් මිලියන 50 ක නව ආරක්ෂක ණය පහසුකමක් ලබා දීම පිළිබඳව ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂාව, ත්‍රස්තවාදය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ජාවාරම් වැනි කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙන්ම බුද්ධි අංශ තොරතුරු හුවමාරු කර ගැනීමේ දී එකිනෙකාට සහයෝගය දැක්වීම හා සම්බන්ධීකරණය කිරීම සඳහා ශක්තිමත් හවුල්කාරිත්වයේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
  3. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීමේ එතුමාගේ ප්‍රයත්නය වෙනුවෙන් 2021 පෙබරවාරි 24 වැනි දින ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රජාව සමඟ අන්තර් ක්‍රියාකාරී සැසියක් සඳහා සහභාගී විය. මෙම අවස්ථාවේ දී, “ඉම්රාන් ඛාන් ඉහළ කාර්ය සාධන ක්‍රීඩා මධ්‍යස්ථානය” කොළඹ දී ආරම්භ කරන බව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ඉදිරිපිට දී නිවේදනය කළේය.
  4. පුහුණුව හා උපකරණ ලබා දීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා ඩොලර් මිලියන 52 ක් ලබා දෙන බවට පාකිස්තාන පාර්ශ්වය නිවේදනය කළේය.
  5. සංස්කෘතික විවිධත්වය, සාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය සංවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා යතුරක් ලෙස අන්තර්-ආගමික සංවාදයේ සහ එකඟබවෙහි වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළහ.
  6. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු සම්බන්ධයෙන් කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල දී දෙරට අතර ඇති සමීප සහයෝගීතාවය දෙපාර්ශ්වයම සටහන් කළ අතර, එවැනි කාරණා පිළිබඳව සම්බන්ධීකරණ ප්‍රවේශයක් තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟ වූහ.
  7. දෙපාර්ශ්වයම සාර්ක් ප්‍රඥප්තියේ මූලධර්ම හා අරමුණු කෙරෙහි ඇති කැපවීම යළිත් අවධාරණය කළ අතර, කලාපයේ ජනතාවගේ යහපත උදෙසා සාක් සාමාජික රටවල් ඒකරාශී වීම වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. එම ප්‍රඥප්තිය පදනම් කරගත් ආයතන රැස් කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, කලාපයේ සමෘද්ධිය ළඟා කර ගැනීම පිණිස කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාර්ක් ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට එකඟ වූහ.
  8. කලාපීය හා ගෝලීය පරිසරයේ ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කරමින් දෙපාර්ශ්වයම කලාපීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා වූ ඔවුන්ගේ ඒකාබද්ධ කැපවීම යළිත් තහවුරු කළහ. ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයට අනුකූලව, ඵලදායී සංවාදය හරහා කැපී පෙනෙන ආරවුල් සාමකාමීව විසඳීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා අවධාරණය කළේය.
  9. කලාපීය සම්බන්ධකතාවයේ සන්දර්භය තුළ, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා, කලාපීය ආර්ථික වර්ධනය සහ සමෘද්ධිය සඳහා චීන තීරය හා මාර්ගය මුලපිරීමෙහි ප්‍රධාන ව්‍යාපෘතියක් වන චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝරය (CPEC) විසින් ලබා දෙන ලද අවස්ථාවන් පිළිබඳව ඉස්මතු කළේය.
  10. කොවිඩ්-19 වසංගතය විසින් එල්ල කරන ලද පෙර නොවූ විරූ අභියෝග පිළිබඳව සාකච්ඡා කරමින්, දෙපාර්ශ්වයම මෙම වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා සාමූහික ප්‍රයත්නයන්හි අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළහ. කොවිඩ් වසංගතය ව්‍යාපිත වීමෙන් පසුව පාකිස්තානයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලබා දුන් ඉමහත් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාව පාකිස්තානයට ස්තූතිය පුද කළේය.
  11. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව රජය දක්වන කැපවීම යළිත් අවධාරණය කරන අතරම, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා පාකිස්තානය නිරන්තරයෙන් ලබා දෙන සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පාකිස්තාන රජයට සහ එහි ජනතාවට ස්තූතිය පුද කළේය.
  12. හැකි ඉක්මනින් පාකිස්තානයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.
  13. තමාට සහ තම දූත පිරිස වෙත දක්වන ලද උණුසුම් ආගන්තුක සත්කාරය පිළිබඳව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තූතිය පුද කළේය.

 කොළඹ

2021 පෙබරවාරි 24 වැනි දින

..

Print Friendly, PDF & Email
Please follow and like us:

Close