ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානයේ සහය ලබා දෙන බවට ජපාන විදේශ අමාත්‍ය මොතෙගි මැතිතුමා ප්‍රතිඥා දෙයි

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානයේ සහය ලබා දෙන බවට ජපාන විදේශ අමාත්‍ය මොතෙගි මැතිතුමා ප්‍රතිඥා දෙයි

DSC_6146

 

ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොතෙගි මැතිතුමා අද දින කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැ දුටුවේය. දෙරටටම අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක වන සබඳතාවල ඉතා වැදගත් සන්ධිස්ථාන පිළිබඳව සිහිපත් කරමින්, නව රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීම උදෙසා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සහ විවිධාංගීකරණය කර ගැනීම සඳහා ජපාන රජයේ සහය ලබා දෙන බවට ජපාන අමාත්‍යවරයා සහතික විය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, මෙරටට පැමිණ සිටින සම්භාවණීය අමුත්තා පිළිගනිමින් අප රටේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා ජපානය විසින් අඛණ්ඩව ලබා දෙනු ලබන සහය සහ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අවංක ප්‍රශංසාව පුද කළ අතර සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා ආරක්ෂාව සහ සමෘද්ධිය උදා කර දීම සඳහා වූ නව රජයේ කාර්ය සැලැස්ම පිළිබඳව ජපාන අමාත්‍යවරයාව දැනුවත් කළේය.

ජපාන මූල්‍ය ආධාර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළ මොටේගී අමාත්‍යවරයා තිරසාර සංවර්ධනය කරා පියනගන ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහය හා දායකත්වය ලබා දෙන රටක් වශයෙන් ජපානය තවදුරටත් කටයුතු කරනු ඇතැයි පුන පුනා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින අමාත්‍යවරයා, නිල සංචාරයක ඇති වැදගත්මකම ගෙන හැර දක්වමින් නුදුරු අනාගතයේ දී ජපානයේ සංචාරයක නියැළෙන ලෙසට විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමාට ආරාධනා කළේය.

දෙරට අතර පුළුල් පරාසයක් ඔස්සේ සබඳතා පවත්වන අතර එම පරාසය තුළ සහයෝගීතාව ඇති කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කළ සම්භාවණීය අමාත්‍ය දෙපළ, දෙරට පොදුවේ ප්‍රයත්න දරන ක්ෂේත්‍ර රැසක හවුල්කාරීත්වය පුළුල් කළ හැකි විධික්‍රම පිළිබඳව සොයා බැලීමට එකඟ වූහ.

ජපාන විදේශ අමාත්‍යවරයා සමඟ, ශ්‍රී ලංකාවේ සිටින ජපාන තානාපති අකිරා සුගියාමා මැතිතුමා හා ටෝකියෝ සිට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ද, විදේශ සබඳතා හා අමාත්‍යාංශයේ වැඩබලන විදේශ ලේකම් අහ්මඩ් ඒ ජවාඩ් මහතා හා එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද මෙම හමුවට සහභාගී වූහ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 13 වැනි දින
DSC_6175 DSC_6201
Print Friendly, PDF & Email
Please follow and like us:

Close