සමුද්‍රීය සුරක්ෂිතබව හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වයට ඉන්දියානු සාගර වටද්දර සංගමයේ අමාත්‍යවරුන්ගේ ප්‍රසාදය පළ වේ.

සමුද්‍රීය සුරක්ෂිතබව හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වයට ඉන්දියානු සාගර වටද්දර සංගමයේ අමාත්‍යවරුන්ගේ ප්‍රසාදය පළ වේ.

Image 02

ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 20 වැනි සැසිවාරය හා 18 වැනි අමාත්‍ය මණ්ඩල සැසි වාරය, "සාමය, ස්ථාවරත්වය හා තිරසර සංවර්ධනය උදෙසා වන සහයෝගීතාව වැඩි දියුණු කිරීම හරහා අප්‍රිකාව, ආසියාව, ඕස්ට්‍රේලියාව හා මැද පෙරදිග ජනතාව එක්සත් කිරීම" යන මැයෙන්, 2018 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 02 දක්වා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවැත්විණි.
අමාත්‍ය මණ්ඩල සැසිවාරය අමතා ශ්‍රී ලංකා ප්‍රකාශය ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු (බහු පාර්ශ්වීය) අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය, සාගර පිළිබඳ කලාපීය සහයෝගීතාවට හා සාගර තිරසර ලෙස භාවිතා කිරීමට ශ්‍රී ලංකාව ආරෝපණය කර ඇති වැදගත්කම ඉස්මතු කර දැක්වූවාය. කලාපයේ ජනතාවට සාමූහිකව දියුණුවිය හැකි අයුරින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ළඟා කර ගැනීම සඳහා සහයෝගිතා වැඩපිළිවෙළකට එක්වන ලෙස ශ්‍රී ලංකාව ඇරයුම් කළේය. අන්තර් කලාපීය වෙළෙඳාම හා ආයෝජනය වැඩිදියුණු කිරීමේ වැදගත්කමද ශ්‍රී ලංකාව අවධාරණය කළේය. ආර්ථික, මූලෝපායික හා පාරිසරික නියමයන්ට අනුව ගත් කල, 21 වැනි ශතවර්ෂයේදී ගෝලීය ගමන්මඟ වෙනස් කිරීමට ඉන්දියානු සාගරය සූදානමින් සිටින අතර, ඉන්දියානු සාගරයේ පිහිටි රටක් ලෙස ශ්‍රී ලංකාවද ඒ සඳහා ගැලපෙන අයුරින් සිය කාර්ය භාරය ඉටුකිරීමට සූදානමෙන් සිටින බවද මෙහිදී ප්‍රකාශ විය.
සාමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ නිර්දේශ නියමයන් ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික වැඩමුළුව පිළිබඳ වාර්තාව ඉන්දියානු සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවට ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය. සාමුද්‍රීය ආරක්ෂා ක්ෂේත්‍රයේ ප්‍රධාන සම්බන්ධීකාරක රට ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රයත්න හා ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙන්ම 2019 වසරේදී ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේ සත්කාරකත්වය භාරගැනීම සම්බන්ධයෙන්ද, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ අමාත්‍යවරු ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළහ.
දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා හා සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ලින්ඩිවේ සිසුලු මහත්මිය විසින් අමාත්‍යවරුන්ගේ රැස්වීමේ මුලසුන දරන ලදී. ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රාජ්‍යයන් 21 ට අමතරව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, එක්සත් රාජධානිය, හා ඇමෙරිකා එක්සත් ජනපදය යන සංවාද හවුල්කාර රාජ්‍යයන් 07ද මෙම සැසිවාරයට සහභාගී විය.
දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ජන්ම ශත සංවත්සරය අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනවලම යෙදී තිබුණු හෙයින්, ඉන්දියානු සාගර වටද්දර සංගමයේ අමාත්‍යවරු ඒ පිළිබඳ විශේෂ අනුස්මරණ ප්‍රකාශයක් සිදුකළහ. ප්‍රිටෝරියා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශිකා ප්‍රියංගනී හේවාරත්න මහත්මියද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 නොවැම්බර් 05 වැනිදා

Image 01

Print Friendly, PDF & Email
Please follow and like us:

Close