2020 ජූලි 15 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක තරුණ නිපුණතා දිනයේ දී ගරු. නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ වීඩියෝ පණිවුඩය

2020 ජූලි 15 වැනිදා අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක තරුණ නිපුණතා දිනයේ දී ගරු. නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යතුමාගේ වීඩියෝ පණිවුඩය

තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි

ලෝකයේ තාරුණ්‍යය

ලෝක තරුණ කුසලතා දිනය පිළිබඳ මාගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා මෙම අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙමි. අප ජීවත් වන ලෝකයේ අධිවේගී තාක්‍ෂණික දියුණුව සහ ගෝලීයකරණය හේතුවෙන්, ගුණාත්මක අධ්‍යාපනය හා කුසලතා පුහුණුව සඳහා පවතින ප්‍රවේශය කිසිදාක නොවූ තරම් වැදගත් වී තිබේ.

මෙම වසංගත තත්ත්වය මධ්‍යයේ, 2020 ලෝක තරුණ කුසලතා දිනය වෙනස් ආකාරයකින් සිතිය යුතු හා අනාගතය සඳහා අවශ්‍යවන නිපුණතා නැවත වරක් ඇගයීමට ලක් කළ යුතු දිනයකි. මෙම දිනයේ දී අප අවධානය යොමු කළ යුත්තේ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ අනාගතය ගැන මනසේ රඳවා ගනිමින් නව කර්මාන්ත පිළිබඳව සොයා බැලීමටය. කුසලතා පිළිබඳව අපගේ කලින් පැවති තක්සේරුව සමාලෝචනය කළ යුතු වන අතර, මෙය නව අවස්ථාවක් ලෙස සලකා දේශීය හා කලාපීය අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙම කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ හෙට කුමක් වේදැයි අනාවැකි කීම දුෂ්කර නමුත් එක් දෙයක් ස්ථිරව කිව හැක: වෙනස්කම් සිදු වී ඇති අතර, වැඩ කරන ලෝකය සඳහා නිපුණතා වෙනස් වීමක් අවශ්‍ය වේ.

අද ශ්‍රී ලංකාව ලෝක තරුණ නිපුණතා දිනය සමරන අතර, “ඔරොත්තු දෙන නිපුණ තරුණ තරුණියන් පෝෂණය කිරීම” යන ජාතික තේමාව යටතේ අන්තර්ජාලය හරහා ජාතික හා ජාත්‍යන්තර වැඩසටහන් සංවිධානය කර තිබේ. මෙම වැඩසටහනේ ජාතික තේමාව සැලසුම් කර ඇත්තේ 2020 දී එක්සත් ජාතීන්ගේ තේමාව පිළිබඳව සලකා බලමිනි. මෙම වසංගත තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය හා වෑයම ලබා දීමට අප සැවොම වෙහෙස වී කටයුතු කරන හෙයින්, මේ වසරේ ලෝක තරුණ නිපුණතා දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වේ.

ශ්‍රී ලංකාව සහ පෘතුගාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව මෙම අවස්ථාව සඳහා සම-සත්කාරකත්වය ලබා දී තිබේ. ශ්‍රී ලංකාව තාක්ෂණික හා වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වමින් අන්තර්ජාලගත වේදිකාවලට සාර්ථකව පිවිස සිටී. මෙ කොවිඩ්-19 වසංගත කාලය තුළ දී ගනු ලැබූ කාලෝචිත පියවරකි. 60% -70%පමණ සිසුන් අන්තර්ජාලය හරහා කෙරෙන පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වන අතර, එය අපට ඉදිරියට යාම සඳහා විශ්වාසයක් ලබා දෙයි. මෙම අන්තර්ජාලගත වේදිකාව අපගේ පුහුණු ධාරිතාවය පුළුල් කිරීමට සහ ජීවිත කාලය පුරාම දැඩි සේ අවශ්‍යවන ඉගෙනුම් අවශ්‍යතා සඳහා සහාය වනු ඇත.

අපගේ අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස “නිපුණතා ගමන් බලපත්‍රය” හඳුන්වා දීමට අපට හැකි විය. එය ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුවේ ස්වර්ණමය යුගයට පිවිසීම සනිටුහන් කරයි. එසේම, එය වැඩ කරන ලෝකය තුළ ජගත් මට්ටමේ පිළිගැනීමක් ලබා දෙනු ඇත. කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කර ගැනීමෙන් පසුව, මෙම අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ ජනතාව හඳුනා ගැනීම සඳහා අපගේ අවධානය යොමු කරන්නෙමු. නව රැකියා අවස්ථා සඳහා සුදුසු පුහුණු අපේක්ෂකයින් බිහි කිරීම සඳහා අපි ඔවුන් සඳහා නැවත පුහුණු කිරීමේ හා පුහුණුව ඉහළ නැංවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ජාතික ආධුනික කාර්මික පුහුණු අධිකාරිය වන නයිටා ආයතනය සමඟ තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් 100,000 ක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ආරම්භ කරන ලදී.

අනෙක් අතට, මෙම වසංගතය මඟින් පුද්ගලයාව අර්බුදය මඟහරවා ගැනීම පිණිස සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට ගොස් සිතීම හා පෙර ක්‍රියාත්මක නොකළ උපාය මාර්ග භාවිතා කිරීම සඳහා තල්ලු කර ඇත. මෙම වසංගතය තුළින් උගත හැකි පාඩම්, කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු කුසලතා සංවර්ධනය හා ජීවිත කාලය පුරා ඉගෙනීම කෙරෙහි කල්පවත්නා හා ධනාත්මක බලපෑමක් ඇති කළ යුතුය. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල, ඉගැන්වීම සහ ඉගෙනීම සඳහා ලබා දෙන නව විසඳුම් මඟින් අධ්‍යාපන හා පුහුණු පද්ධති සඳහා අවශ්‍ය නව්‍යකරණයන් ගෙන එනු ඇත. පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් යුතුව, රජය මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. නිපුණතා පුහුණුව නව තලයකට ගෙන යා හැකි ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ දැනුම බෙදා ගැනීමේ අවශ්‍යතාවය මෙයින් අවධාරණය කෙරෙයි.

අපේ ජාතියේ අනාගතය වන තරුණ තරුණියන් සඳහා නිපුණතා පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය හා අදාළත්වය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානය ඉටු කරන සේවය වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙමි.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close