එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 5.7 ක වටිනාකමින් යුත් විශේෂිත ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 5.7 ක වටිනාකමින් යුත් විශේෂිත ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය

හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම. යටතේ, ඇමරිකානු ඩොලර් 5,735,953 (ශ්‍රී.ලං.රු. බිලියන 1.87) වටිනාකමින් යුත්, අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර රැගත් පස්වැනි තොගය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිරිනැමීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුමැතියන් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙරටට හිමි වන මෙම පරිත්‍යාගය 2023 මැයි 08 වැනි දින ගුවන් මගින් කොළඹට ගෙන එන ලදී. අධි රුධිර පීඩනය සඳහා යොදා ගන්නා ලැබිටලොල්, ඉදිමුම්, දරුණු ගණයේ ආසාත්මිකතා සහ ඇදුම වැනි රෝගී තත්ත්වයන් සඳහා යොදාගන්නා ප්‍රෙඩ්නිසෝන් වැනි විශේෂිත ඖෂධ සහ ඇදුම සහ හුස්ම ගැනීමේ අපහසුතාවට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා ෆ්ලූටිකසෝන් සහ සැල්මෙටරෝල් වැනි ඖෂධ මෙම නවතම පරිත්‍යාගයට ඇතුළත් වේ.

හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා සිදු කළ පරිත්‍යාගයන් වෙනුවෙන් වොෂින්ටන් ඩී. සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කර සිටියි. මෙම පරිත්‍යාගයට අදාළ සියලුම වියදම් හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් දරන ලදී. මෙම ඖෂධ තොගය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව අතර නොමිලේ සහ කඩිනමින් බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලැබේ.

කැන්සාස් හි ලෙනෙක්සා හි පිහිටි හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (HHI) සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංවිධානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් 130කට වඩා අධික සංඛ්‍යාවකට ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක වටිනාකමින් යුත් වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙම සංවිධානය වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීම මගින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත් හමුවේ සිය සහය ලබා දෙයි. මෙම සංවිධානය තරු 4 Charity Navigator පුණ්‍යායතනයක් සහ BBB සහතිකය ලත් පුණ්‍යායතනයක් වන "Philanthropy 400" ට ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල්

වොෂින්ටන් ඩී. සී. කැන්සාස්

2023 මැයි 11 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close