විදේශ කටයුතු අමාත්‍යාංශය විසි න් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව - මන්නාරම 2018 අගෝස්තු 12-13

විදේශ කටයුතු අමාත්‍යාංශය විසි න් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව – මන්නාරම 2018 අගෝස්තු 12-13

Photo

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව, 2018 අගෝස්තු 12 – 13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි.

යුද ගැටුම්  පැවැති  කාලසීමාවේදී  විදෙස්  රටවල  සරණාගතභාවය  සොයා ගොස්  ගැටුම් නිමවූ  පසු  යළි ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන්ගේ කොන්සියුලර් සේවා අවශ්‍යතාවන් ඉටුකිරීම මෙම ජංගම කොන්සියුලර් සේවාවේ අරමුණ විය. දෙදින සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව අතරතුර පුරවැසිභාවය ලබාගැනීම සඳහා වූ අයැදුම්පත් 242 ක් භාර ගැනුණු අතර, කොන්සියුලර් උප්පැන්න සහතික 59 ක් නිකුත් කරන ලදී. ඊට අමතරව පුරවැසිභාවය සහ උප්පැන්න සහතික පිළිබඳ උපදෙස් හා මාර්ගෝපදේශ අවශ්‍යවූවන්ට ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක්ද සිදුවිය.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අගෝස්තු 12 වැනි දින ජංගම සේවයට  සහභාගි වූ අතර, සේවා ලබාගැනීමට පැමිණි පුද්ගලයන් හමුවී සාකච්ඡා කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසිභාවය පිළිබඳ අංශය යන ආයතනවල නිලධාරීන් විසින් සමෝධානික ජංගම කොන්සියුලර් සේවා වැඩසටහන මෙහෙයවන ලදී.

සමෝධානික ජංගම කොන්සියුලර් සේවාවේ පළමුවැන්න 2018 ජූලි 01 – 02 දක්වා කිලිනොච්චි නගරයේදී පැවත්විණි. එහිදී පුරවැසිභාවය ලබාගැනීම සඳහා වූ  අයැදුම්පත් 201 ක්  භාර ගැනුණු අතර, කොන්සියුලර් උප්පැන්න සහතික 61 ක්  නිකුත් කෙරිණි.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

 2018 අගෝස්තු 15
Print Friendly, PDF & Email
Please follow and like us:

Close