ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ (AEPF) තුන් වැනි රැස්වීම, ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (ICAPP) 2019 අප්‍රේල් 5 -7 දිනවල කොළඹදී

ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ (AEPF) තුන් වැනි රැස්වීම, ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (ICAPP) 2019 අප්‍රේල් 5 -7 දිනවල කොළඹදී

ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ තුන් වැනි රැස්වීම සහ ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (ICAPP) 2019 අප්‍රේල් මස 5 වැනි දින සිට 7 වැනි දින දක්වා කොළඹදී පැවැත්වේ.මෙම අන්තර්ජාතික  සමුළුවට ආසියාවේ සහ යුරෝපයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් අනූ (90) දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය.

 2000 වසරේ පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ කෙරුණු ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුව (ICAPP), ආසියා- ඕෂනියා රටවල දේශපාලන පක්ෂවල සංසදයකි. එහි මූලස්ථානය කොරියානු ජනරජයේ සියොල් නුවර පිහිටා ඇත. ආසියානු රටවල් අතර අන්‍යොන්‍ය අවබෝධය  සහ විශ්වාසය වැඩිදියුණු කිරීම උදෙසා විවිධ මත දරන දේශපාලන පක්ෂ අතර  හුවමාරු සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, දේශපාලන පක්ෂ උපයෝගී කරගනිමින් ආසියාවේ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ තිරසර සාමය හා සමෘද්ධිමත් බව සඳහා පරිසරයක් නිර්මාණය කිරීම ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ අරමුණු වේ .

 මෑත කාලයේදී මෙම ජාත්‍යන්තර සමුළුවේ ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ  සක්‍රීය ලෙස සහභාගී වී ඇත.

ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවේ අභිවෘද්ධිය උදෙසා අතීතයේ සිට ශ්‍රී ලංකාව දැක්වූ සාධනීය දායකත්වය සලකා බලමින් ආසියා-යුරෝපා දේශපාලන සංසදයේ (AEPF) තුන් වැනි රැස්වීම 2019 අප්‍රේල් මස 5 වැනි දා සිට 7 වැනි දා දක්වා කොළඹදී  පැවැත්වීමට එකී සමුළුවේ මහලේකම් කාර්යාලය  ශ්‍රී ලංකා රජයට ආරාධනා කර ඇත. ICAPP සංවිධානයේ  මහලේකම් පාක් රෝ බියුග් මහතා 2019 මාර්තු මස 22 වැනි දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඒ මහතා අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු විදේශ කටයුතු  අමාත්‍යවරයා, ගරු ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා මෙන් ම අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද හමු විය. මේ සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ආසියා-යුරෝපා දේශපාලන සංසදය 2019 අප්‍රේල් මස කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා රජය කැමැත්ත පළ කළේ ය.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව මෙම සමුළුව සංවිධානය කරයි. මේ මඟින් ආසියාවේ සහ යුරෝපයේ ICAPP සාමාජික රටවල්වල පාලන පක්ෂ සහ විපක්ෂ එකට හමුවන වේදිකාවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට  අවස්ථාවක් සැලසෙන අතර  එක් එක් රටවල් ලබා ඇති අත්දැකීම් මඟින් උපදෙස් විමසීමටත් අදහස් හුවමාරු කරගැනීමටත් අවස්ථාවක් ලැබේ. තව ද  ගෝලීය වශයෙන් වැදගත් වටිනාකම් හා අභියෝග පිළිබඳ දැනුම බෙදාගැනීමට සූදානම් සාමාජික රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හුවා දැක්වීමට ද මේ සමුළුව මඟින් ඉඩ සැලසේ.

සමුළුවේ තේමාව වන්නේ “ඉහළ යමින් පවතින වැඩිහිටි ජනගහණයේ සමාජ ආරක්ෂණය සහ සේවා නියුක්තිය සම්බන්ධයෙන් මතු වන අභියෝග මෙන්ම ආසියානු කලාපය මුහුණ පාන අද්‍යතන හදිසි ගැටලු දේශපාලන පක්ෂවලට හසුරුවා ගත හැක්කේ කෙසේ ද?” යන්නයි.

මේ වන විටත් ශ්‍රී ලංකාව ඉහළ යන වැඩිහිටි ජනගහණ අභියෝගයට මුහුණ පාමින් සිටියි. මේ සමුළුවේ තේමාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ලෝකයේ සෙසු රටවල් හා සාකච්ඡා කිරීමට, අදහස් හුවමාරු කරගැනීමට, අත්දැකීම් බෙදා හදා ගැනීමට සහ යහ ව්‍යවහාරයන් ඉගෙන ගැනීමට මේ ආකාරයේ සමුළු මඟින් ශ්‍රී ලංකාවට අද්විතීය අවස්ථාවක් සැලසේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2019 අප්‍රේල් 04 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close