විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2024 ජුනි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා රුසියානු සමූහාණ්ඩුවේ සංචාරයක නිරත වූ අතර රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කර්නල් ජෙනරාල් ඒ.වී.ෆොමින් යන මහත්වරුන් සමඟ රුසියානු සන්නද්ධ හමුදාවන්හි කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවා සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

ක්‍රියාන්විතයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් 17දෙනා පිළිබඳව, මියගිය සහ තුවාල ලැබූවන් සඳහා වන්දි ගෙවීම, සම්බන්ධ කරගත නොහැකි ශ්‍රී ලාංකිකයන්ගේ දුක්ඛිත තත්ත්වය, ස්වේච්ඡාවෙන් ආපසු සියරට බල යෑමේ හැකියාව, කොන්ත්‍රාත්තු කඩිනමින් අවසන් කිරීම සහ වේතනය විධිමත් කිරීම යන කරුණු කෙරෙහි මෙම සාකච්ඡා වලදී අවධානය යොමු විය.

සේවයේ යොදවා ඇති ශ්‍රී ලාංකිකයින්ගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිරන්තරයෙන් හමුවීමට දෙපාර්ශ්වයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට ශ්‍රී ලංකාව මෙම හමුවේදී යෝජනා කළේය. අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරගෙන යෑමට දෙපාර්ශවයම එකඟ විය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ජී.ඩී.එච්.කමල් ගුණරත්න, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා අතරතුර තානාපති පී.එම්.අම්සා, අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිසිර සෙනවිරත්න, හිටපු තානාපති ආචාර්ය සමන් වීරසිංහ යන මහත්වරු සහ රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මොස්කව්

2024 ජූනි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close