නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දු-ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය නිමිත්තෙන්  රාමායනය හා සම්බන්ධ ස්ථාන පිළිබඳ ප්‍රකාශනය ආරම්භ කරයි

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දු-ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය නිමිත්තෙන්  රාමායනය හා සම්බන්ධ ස්ථාන පිළිබඳ ප්‍රකාශනය ආරම්භ කරයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 75ක් පිරීම මෙම වසරේ යෙදීම නිමිත්තෙන් නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ප්‍රකාශකයෙකු වන සීමාසහිත Dorling Kindersley Publishing (DK) India පුද්ගලික සමාගම සමග සහයෝගයෙන් රාමායනය හා සම්බන්ධ ස්ථාන පිළිබඳ ග්‍රන්ථ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

“In the Footsteps of Rama; A Cultural Journey through India and Sri Lanka”, යන තාවකාලික ග්‍රන්ථ නාමය සහිත මෙම යෝජිත ග්‍රන්ථය, රාමායනය හා සම්බන්ධ ස්ථානවල ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පුරාණෝක්ති අංශයන් පිළිබඳ සඳහන් කරමින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ රාමායනය හා සම්බන්ධ ස්ථාන පිළිබඳ ඉදිරිපත් කරයි.

උසස් තත්ත්වයේ රූප සටහන් පොත් ප්‍රකාශකයෙකු වන DK සමාගම, ලබන වසරේ ජූලි මාසය වන විට ග්‍රන්ථයෙහි අවසන් ඉදිරිපත් කිරීම එළිදැක්වීමට සැලසුම් කරයි.

ප්‍රකාශනයට අදාළ ගිවිසුම සඳුදා (25) නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අත්සන් කරන ලදී. DK සමාගමෙහි ඉන්දියාවේ කළමනාකාර අධ්‍යක්ෂ අපර්ණා ෂර්මා, මූල්‍ය හා මෙහෙයුම් ප්‍රධානී අල්කා කුමාර්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව, මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපුල් පුෂ්පකුමාර සහ අමාත්‍ය උපදේශක ගාමිණී සරත් ගොඩකන්ද යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නව දිල්ලි

2023 සැප්තැම්බර් 27

Print Friendly, PDF & Email
Please follow and like us:

Close