අභිනවයෙන් පත් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීහු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා හමුවෙති

 අභිනවයෙන් පත් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීහු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා හමුවෙති

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් පවත්වන ලද දිශානුගත කරවීමේ වැඩසටහන අවසානයේ, අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා  දූත මණ්ඩල ප්‍රධානීහු සත් දෙනා 2025 මැයි 14 වැනි දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූහ.

මෙම හමුව අතරතුර, පත් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීහු, ශ්‍රී ලංකාවට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රමුඛතා ගෙනහැර දක්වමින්, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, වෙළෙඳ හා සංචාරක ප්‍රවර්ධනය සහ අදාළ රටවල ශ්‍රී ලාංකික ප්‍රජාවන් සමඟ සම්බන්ධ වීම ආදිය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් කරුණු දැක්වීම් සිදු කළහ.

ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස නම් කර ඇති මහීෂිනි කොලොන්නේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙස නම් කර ඇති ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය, පාකිස්තානයේ මහ කොමසාරිස් ලෙස නම් කර ඇති විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, කියුබාව සඳහා නම් කර ඇති තානාපති මහින්දදාස රත්නායක මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස නම් කර ඇති මහාචාර්ය අරුෂා කුරේ, ජපානය සඳහා නම් කර ඇති තානාපති මහාචාර්ය ජනක් කුමාරසිංහ, එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෙස නම් කර ඇති එස්.ඩී.එන්.යූ. සේනාධීර යන මහත්ම මහත්මීහු නව දූත මණ්ඩල ප්‍රධානීන් අතරට ඇතුළත් වෙති.

වෙළෙඳ මණ්ඩල, විදේශ රැකියා කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සමඟ අන්තර්ක්‍රියාකාරී සැසි මෙම ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත් විය. කොළඹ වරාය නගරය, කොළඹ නැව් තටාකාංගනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, කටුනායක අපනයන සැකසුම් කලාපය සහ තවත් පෞද්ගලික අංශයේ සංවිධාන කිහිපයක් වෙත ක්ෂේත්‍ර චාරිකාද සිදු කරනු ලැබිණි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ මානව සම්පත් සහ දූත මණ්ඩල කළමනාකරණ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක යන මහත්ම මහත්මීහුද අමාත්‍යවරයා සමඟ මෙම  සාකච්ඡාවට සහභාගී වූහ.

 විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 මැයි 16 වැනි දින

 

 

Please follow and like us:

Close