ඉන්දියානු සාගර කලාපයේ සියල්ල ඇතුළත් වන ආරක්ෂක ව්‍යුහයක් උදෙසා ශ්‍රී ලංකාවේ ඇප කැපවීම විදේශ ලේකම් ආර්යසිංහ මහතා අවධාරණය කරයි

ඉන්දියානු සාගර කලාපයේ සියල්ල ඇතුළත් වන ආරක්ෂක ව්‍යුහයක් උදෙසා ශ්‍රී ලංකාවේ ඇප කැපවීම විදේශ ලේකම් ආර්යසිංහ මහතා අවධාරණය කරයි

DSC_4040

 ඉන්දියානු සාගර කළාපයේ ආරක්ෂක ගැටලුවලට විසඳුම් ලබා දෙන සියල්ල ඇතුළත් ආරක්ෂක ව්‍යුහයක් හා ආයතනික රාමු සංවර්ධනය කිරීම වහ වහා සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අවධාරණය කර තිබේ. 2018 ඔක්තෝබර් මස ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් "ඉන්දියානු සාගරය: අපගේ අනාගතය අරුත් දක්වයි" යන තේමාව යටතේ පැවති අමාත්‍ය මට්ටමේ සමුළුවක් ලෙස දියුණු කළ යුතු වන ට්‍රැක් 1.5 සමුළුව පිළිබඳව සඳහන් කරමින්, ඉන්දියානු සාගර කලාපයේ අභියෝග හා විසඳුම් පිළිබඳව පොදු අවබෝධයක් මත මෙහෙයවෙන, ස්ථාපනය කරන ලද නීතිරිති හා මූලධර්ම සහිතව ජාත්‍යන්තර නීතිරිති පදනම්කර ගත් සාමයක් උදාකිරීම සඳහා දායකත්වය ලබා දීමේ ප්‍රතිඥාව එමඟින් ලබා දුන් බව ඔහු සඳහන් කළේය. 2019 අගෝස්තු මාසයේ කොළඹ දී පැවති ශ්‍රී ලංකාව විසින් සභාපතීත්වය උසුලන ලද කලාපීය සහයෝගීතාව සඳහා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IOR-ARC) සාමුද්‍රීය සුරක්ෂිතභාවය හා ආරක්ෂාව (MSS) පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේ දී කාර්ය සැලැස්මක කටයුතු අවසන් කිරීම මඟින් ද, තිරසර ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම සඳහා ප්‍රායෝගිකව සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම උදෙසා පහසුකම් සැලසීමට සාමාජික රටවලට ඉඩකඩ ලබා දෙන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

විදේශ ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කරන ලද්දේ, 2019 ඔක්තෝබර් 21 වැනි දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවති 2019 ගාලු සංවාදයේ විශේෂ භෝජන සංග්‍රහ දේශනය පවත්වමිනි. මෙම ගාලු සංවාදය මඟින්, රටවල් 55කින් නියෝජිතයින් 150කට අධික පිරිසක් හා ජාත්‍යන්තර නියෝජිතායතන 12ක හා ආරක්ෂක ව්‍යාපාර 3ක නායකයන් ඒකරාශී කරන ලදී. අනුයාත 10 වැනි වසර සඳහා දෙදින වැඩසටහනක් සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ප්‍රශංසාව පුද කළ ඔහු, මෙම වසරේ තේමාව වන "දේශ සීමා ඉක්මවා සිදු කරන සමුද්‍රීය තර්ජනවලට විසඳුම් ලබා දීම සඳහා මනස සකස් කර ගැනීම: දශකයේ සමාලෝචනයක්" මඟින් ගැඹුරු ප්‍රත්‍යාවේක්ෂණයක් සඳහා දිරිගන්වන බව ප්‍රකාශ කළේය. අප වටා ඇති දෑ වෙනස් වී ඇති බව පමණක් නොව ඒවා අප ග්‍රහණය කරගන්නා ආකාරය වෙනස් කිරීමේ ද අවශ්‍යතාවක් පවතින බව එමඟින් ඒත්තු ගන්වයි. අවශ්‍ය නම්, යළි ජව සම්පන්න කිරීම, නැවත ඇගයීම හා නැවත ශෝධනය කිරීම සහ ඉදිරි තීරණාත්මක දශකයක් හා බැඳී පවතින දෑ සඳහා න්‍යාය පත්‍රය නැවත සැකසීමට ඉඩ ප්‍රස්ථාව එමඟින් ලබා දෙයි.

1971 තරම් බොහෝ කලකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ඉදිරිපත් කළ ඉන්දියානු සාගර සාම කළාප (IOPZ) යෝජනාව සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කළ හා ඉතා සුළු පිරිසක් විසින් සමුද්‍රීය කටයුතු සහයෝගීතාව (IOMAC) වැනි සංකල්පවල වැදගත්කම හඳුනාගෙන මෙම ක්‍රියාවලිය සඳහා සහය ලබා දුන් අවධියක් වූ, 1985 වසරේ දී, ඉන්දියානු සාගර සමුද්‍රීය කටයුතු සහයෝගීතාව ප්‍රවර්ධනය කළ ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගරයේ යාත්‍රණ නිදහස හා සන්නිවේදන මුහුදු මාර්ගවල (SLOCs) සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු කිරීමේ ඉදිරි ප්‍රයත්නවල දී පෙරමුණ ගෙන කටයුතු කරයි. මේවා කලාපීය සුරක්ෂිතභාවය හා ස්ථායීතාව පවත්වා ගැනීමේ දී පමණක් නොව කලාපයේ අනාගත සමෘද්ධිය උදෙසා ද අත්‍යවශ්‍ය වන පූර්ව අවශ්‍යතා වේ.

ඉන්දියානු සාගරයේ වෙනස්වන ගතිකතාවයන් පිළිබඳව විස්තර කරමින් ඔහු කියා සිටියේ, කලාපයේ ලෝක ජනගහනයෙන් 35% ක් වාසය කරන වෙරළාසන්න රාජ්‍යයන් මඟින් 2018 වසරේ දී ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 18.5% ක් සඳහා වගකියන බවයි. ගෝලීය තෙල් නැව්ගත කිරීම්වලින් තුනෙන් දෙකක් සහ නැව් භාණ්ඩ තොගවලින් තුනෙන් එකක් එහාමෙහා ගෙනයන ලෝකයේ වඩාත්ම කාර්යබහුල හා ඉතා වැදගත් වෙළඳ කොරිඩෝවක් මෙන්ම, වඩාත්ම තීරණාත්මක මුහුදු සන්නිවේදන මාර්ග සඳහා සත්කාරකත්වය සපයමින් එය ගෝලීය වෙළඳාම හා ආර්ථිකය කෙරෙහි සෘජුවම බලපායි. නීතියේ ආධිපත්‍යයට අනුකූලව කටයුතු කිරීමට හා ඉන්දියානු සාගරයේ යාත්‍රණය කිරීමේ නිදහස පවත්වා ගැනීම සඳහා ඇති ප්‍රශංසනීය කැමැත්ත හේතුකොට ගෙන, වෙනත් සමහර සමුද්‍රීය කලාප හා සසඳන විට ඉන්දියානු සාගර කලාපය සාපේක්ෂ වශයෙන් සන්සුන්ව පවතින බව ද ඔහු තවදුරටත් පැවසීය.

කලාපය මුහුණ දී ඇති තර්ජන පිළිබඳව අදහස් දක්වමින්, “අපගේ සාගරයේ පුළුල් ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමට සහ සමාන අදහස් දරන දේශීය හා විදේශීය ආයතන සමඟ එම තොරතුරු බෙදා ගැනීම සඳහා වූ යාන්ත්‍රණයක් මඟින්, විශේෂයෙන් මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, මුහුදු කොල්ලකෑම් සහ ත්‍රස්තවාදය යන අංශවල නියැලී සිටින රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ කටයුතු සම්බන්ධයෙන් වඩා හොඳින් කටයුතු කළ හැකි බව” ඔහු කියා සිටියේය. විදේශ ලේකම්වරයා තවදුරටත් සඳහන් කළේ, “නෛතික රාමු මගින් සාගර ආරක්ෂා කිරීම සඳහා වූ පදනම ඇති කෙරෙන අතර, දේශසීමා ඉක්මවමින් සිදුකරන විවිධ සමුද්‍රීය තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමේ පළමු මාර්ගය වන්නේ රටවල් අතර ප්‍රායෝගික සහයෝගීතාවය බව” යි. “රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරකම් නිසැකවම ඉන්දියානු සාගරයේ ආරක්ෂාවට අඛණ්ඩව තර්ජනයක් වන අතර, සමහර අවස්ථාවල දී සාගර සම්බන්ධයෙන් වන අපගේ කටයුතු සංකීර්ණ බවට පත් කරන අස්ථායීතාව සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීන්ට ද දොස් නැඟිය යුතුය” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.

ඉන්දියානු සාගරයේ දැනට සිදුවෙමින් පවතින භූදේශපාලනික හා භූ උපාය මාර්ගික රාමුකරණය පිළිබඳව ලේකම්වරයා සිය කථාවේ දී විශේෂ අවධානයක් යොමු කළේ ය. “මෙම රාමුකරණයේ දී, වෙරළාසන්න රාජ්‍යයන්ට ආවේනික වූ භූමිකාව හඳුනාගත යුතුය: භූගෝලීය වශයෙන් කලාපය තුළ පිහිටා ඇති රටවලට, ඉන්දියානු සාගර කලාපයේ අනාගතය තීරණය කිරීමේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ” යයි ඔහු අවධාරණය කළේය.

“ජාතික අවශ්‍යතා කේන්ද්‍රීයව සපුරාලන අතරම, අනෙකුත් සියලුම එක් එක් රටවල අවශ්‍යතා සහ ප්‍රධාන ජාත්‍යන්තර වගකීම් හා බැඳීම් අඩංගු වන පුළුල් හා පරිපූර්ණ ප්‍රවේශයන් අනුගමනය කරන ලෙස” ලේකම් ආර්යසිංහ මහතා ඉන්දියානු සාගර කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සහ විශේෂඥයින්ගෙන් ඉල්ලා සිටියේය. “අපට බාහිරයෙන් පැන නගින භූ-උපායමාර්ගික තරඟවල දී පක්ෂග්‍රාහී වීම සඳහා අපට බල නොකළ යුතු අතර, තරඟකාරී අවශ්‍යතා සමථයකට පත් කිරීම සඳහා සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපට ඉඩ දිය යුතුය” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019 ඔක්තෝබර් 22 වැනි දින

DSC_4042

 

DSC_4043

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close