ඇමරිකානු තානාපතිවරිය විදේශ අමාත්‍යතුමා හමුවෙයි

ඇමරිකානු තානාපතිවරිය විදේශ අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් මැතිනිය 2021 අගෝස්තු 20 වැනි දින  විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවූවාය. කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනයෙන් ඇති වූ පාරිසරික හා සමාජ-ආර්ථික බලපෑම අවම කිරීම සඳහා ලබා දුන් සහයෝගය පිළිබඳව එක්සත් ජනපදයට ස්තූති කළ විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා, තවදුරටත් සහයෝගීතාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන නිලධාරීන්ට පුහුණුව ලබා දීම සඳහා PARTNER වැඩසටහන යටතේ අපනයන සංවර්ධන මණ්ඩලය, USAID සහ ලංකා වාණිජ මණ්ඩලය අතර මෑතක දී සිදු වූ ත්‍රෛපාර්ශ්වීය සහයෝගිතා ලිපිය විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සාදරයෙන් පිළිගත්තේය. එතුමා ඇමරිකාවේ පෞද්ගලික අංශය මඟින් ශ්‍රී ලංකාවේ සිදුකරන ආයෝජන ද සාදරයෙන් පිළිගත්තේය.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට පැමිණ සිටියහ. එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්ව සංවාදය කැඳවීම, වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුම පිළිබඳ කොමිෂන් සභාව සහ එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආංශික සංවාද කැඳවීම ඇතුළුව අනෙකුත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව ද විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close