ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය- 2018 සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය- 2018 සාර්ථකව නිමාවට පත්වේ

Head Table

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදයේ සමාප්ති සැසිය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 26) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම වැඩසටහනට සහභාගී වූ රටවල් විසිතුනක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ වැඩසටහන අවසානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා අතින් සිය සහතිකපත්‍ර ලබා ගත්හ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරනු ලැබ,  බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය  සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය සමඟ සහයෝගයෙන් සති දෙකක් පුරා පවත්වනු ලැබූ මෙම සංවාද වැඩසටහනට ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, භූතානය, බ්‍රසීලය,චීනය, කියුබාව, ඊජිප්තුව, ඉන්දියාව, කෙන්යාව,  මැලේසියාව, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පලස්තීනය, සෙනෙගාලය,  සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව,තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වියට්නාමය යන රටවල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ සහභාගී වූහ.

ඉකුත් සිකුරාදා උදෑසන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට ගිය මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ කතානායක කරු ජයසූරිය මහතා බැහැදුටුවහ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳ අංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය-2018 ඉතා අනර්ඝ තත්ත්වයේ පැවැති බවත් ලෝකයේ සෙසු රටවල් සමඟ ගනුදෙනු කිරීමට         ශ්‍රී ලංකාව සතු ශක්තිය හා හැකියාව ඉන් ප්‍රදර්ශනය වූ බවත් සමාප්ති සැසිය අමතමින් කතා කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා පැවැසීය. මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ධ්‍රැවිකරණයට ලක් වූ අද්‍යතන ලෝකය තුළ බහුපාර්ශ්විකත්වයේ අදාළබව අවධාරණය කළ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙර්රෙස් මහතාගේ කතාව උපුටා දැක්වූ කාරියවසම් මහතා, මෙම සංවාදය වනාහීබහුපාර්ශ්විකතාව සහ ජාතීන් අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන දායකත්වය බව ප්‍රකාශ කළේය. මෙවැනි වැඩසටහන් ඔස්සේ ගොඩනැඟෙන මිත්‍රත්ව සහ බෙදාහදා ගැනෙන අත්දැකීම්, සියලු දෙනාටම එක්ව ආර්ථීක වශයෙන් වර්ධනය වීම සඳහා දායක වනු ඇතැයිද ඒ මහතා බලාපොරොත්තු පළ කළේය.

මෙම සංවාදය මඟින් ඊට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳවද සිය රටවල් මුහුණදෙන අභියෝග හා ඒවා සතු අවස්ථා පිළිබඳවද අවබෝධය ඉහළ නැංවුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු හා වෙළෙඳාම පිළිබඳ අතිරේක ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවැසීය. විදේශයන්හි පිහිටි දූතමණ්ඩල හරහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමෙහිලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳ වැඩසටහනට ඉන් ඉතා ප්‍රයෝජනවත් දැනුමක් ලැබුණු බවද ඒ මහතා ප්‍රකාශ කළේය. වැඩසටහනට සහභාගී වූ සියලු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අනාගතයේදී එකිනෙකා හා සම්බන්ධ වී සිටීම සහතික වනු වස් අමාත්‍යාංශය ක්‍රියා කරන බවද ඔහු තවදුරටත් පැවැසීය.

මෙම වාර්ෂික සංවාදය පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් පැමලා ජේ. ඩීන් මහත්මිය වැඩසටහන පුරා ඔවුන් ප්‍රදර්ශනය කළ කැපවීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනාට සිය ස්තූතිය පළ කළාය . සංවාදය ඔස්සේ ගොඩනැඟුණු විශිෂ්ට මිත්‍රත්වයද වැඩසටහනේ සැසිවාර අතරතුරදී සිය දැනුම බෙදාහදාගැනීමෙහිලා ඊට සහභාගී වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් තුළ වූ  අවංකභාවයද  ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ගනේෂන් විග්නරාජා මහතා ඉස්මතු කොට පෙන්වීය.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව සියැසින් දැකබලා අවබෝධ කරගැනීමට තමන්ට අවස්ථාව ලැබුණු බවත්, තමන් 23 දෙනා පෙරළා සිය රටවල් බලා යන්නේ ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් වශයෙන් බවත් සංචාරක රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් වෙනුවෙන් සමාප්ති කතාව කළ ඕස්ට්‍රේලියාවේ පීටා හෙලන් ඩොනල්ඩ් මහත්මිය පැවසුවාය. වැඩසටහන සංවිධානය කොට තිබූ අනර්ඝ ආකාරය පිළිබඳව සියලු දෙනා වෙනුවෙන් ස්තූතිය පළ කළ ඩොනල්ඩ් මහත්මිය, මෙම සංවාදය එහි අභිමතාර්ථ කරා සාර්ථකව මෙහෙයවුණු බව ප්‍රශංසාපූර්වකව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, විද්‍යාඥයන් සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පුද්ගලයන් සමඟ කළ සාකච්ඡා සති දෙකක් පුරා පැවැති මෙම වැඩසටහනට ඇතුළත් විය.එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත අවධානය යොමු කළේය. මහනුවර, දඹුල්ල, සීගිරිය, පොළොන්නරුව, මින්නේරිය ස්වභාවික රක්ෂිතය සහ පාසිකුඩා ආදී ශ්‍රී ලංකාවේ ඓතිහාසික, සංස්කෘතික, ආර්ථික හා සංචාරක වශයෙන් වැදගත් ස්ථාන අන්තර්ගත තෙදින ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කිරීම මඟින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම වැඩසටහනට සහයෝගය ලබා දුන්නේය.  ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය සහ මොරටුව විශ්ව විද්‍යාලය නැරඹීමට ගිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ  ගාලු වරාය යාත්‍රා නිකේතනයේ පැවැති ‘2018 ශ්‍රී ලංකා බෝට්ටු ප්‍රදර්ශනය හා බෝට්ටු සැණකෙළිය’ට අපනයන සංවර්ධන මණ්ඩලයේ අමුත්තන් වශයෙන්ද සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2018 ඔක්තෝබර් 28 වැනිදා

 -------------------------------------------------------

Parliament

Secretary

DSC_5839

DSC_5843

DSC_5871

Audience

Audience 2

Print Friendly, PDF & Email
Please follow and like us:

Close