රුසියානු සමූහාණ්ඩුවේ කසාන්හි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය නායකත්වය ලබාදෙයි 

රුසියානු සමූහාණ්ඩුවේ කසාන්හි පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය නායකත්වය ලබාදෙයි 

2024 ඔක්තෝබර් 22 වැනි දින සිට 24 වැනි දා දක්වා රුසියාවේ කසාන් නුවර පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය නායකත්වය ලබාදෙයි. බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලින් සමන්විත බ්‍රික්ස් සංවිධානය පසුගියදා සිය සාමාජික ව්‍යාප්තිය ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා පුළුල් කළේය. වසර ගණනාවක් පුරා නැගී එන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාව සඳහා බ්‍රික්ස් සංවිධානය වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට සහ නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමට අයැදුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කර ඇත. බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව දක්වන උනන්දුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති අතර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ සඳහා බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල  විදේශ අමාත්‍යවරුන්ගේ සහයෝගය ලිඛිතව ඉල්ලා ඇත.

මෙම සංචාරයේදී, විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් එළැඹෙන රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය. ඇය බ්‍රික්ස් සාමාජික රටවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් බැහැදැක ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට කර ඇති ඉල්ලීම මෙන්ම ද්විපාර්ශ්වික උනන්දුවක් දක්වන අනෙකුත් කරුණු පිළිබඳවද සාකච්ඡා කරනු ඇත.

ටටාස්ථාන් ජනරජයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති ෆරීඩ් ක්යෝවිච් මුකමෙට්ෂන්, කසාන් නුවර පළමු නියෝජ්‍ය නගරාධිපති ඩෙනිස් කලින්කින්, ටටාස්ථාන් ජනරජයේ බහුකාර්ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙනාරා මුසාෆරෝවා යන මහත්ම මහත්මීන් සහ රුසියානු විදේශ අමාත්‍යංශයේ සන්ධාන නිලධාරීන් විසින් ඔක්තෝබර් 21 වැනි දින කසාන් නුවරට පැමිණි විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය පිළිගනු ලැබිණි. දූත මණ්ඩල ප්‍රධානී, තානාපති පී.එම්.අම්සා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථීක කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ.කේ.යෝගනාදන් යන මහත්වරු විදේශ කටයුතු ලේකම්වරිය සමඟ මෙම සංචාරයට එක් වෙති.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 ඔක්තෝබර් 22 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close