Foreign Secretaries of Sri Lanka and Thailand successfully conclude Bilateral Political Consultations

Foreign Secretaries of Sri Lanka and Thailand successfully conclude Bilateral Political Consultations

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ විදේශ කටයුතු ලේකම්වරු ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන සාර්ථකව අවසන් කරති

 ශ්‍රී ලංකා - තායිලන්ත ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 05 වැනි වටය 2023 අගෝස්තු 28 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් අතර, තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම්  සරුන් චරුඑන්සුවන් මහතා තායිලන්ත දූත පිරිසට නායකත්වය දුන්නේ ය.

මෙම සාකච්ඡාවේ දී වෙළඳ සහ ආයෝජන කටයුතු, ආරක්‍ෂක කටයුතු, සංස්කෘතික කටයුතු, ධීවර හා සංචාරක ව්‍යාපාරය යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව හා සබැඳි  පුළුල් පරාසයක අංශවල ඉදිරි ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කරන ලදී. ශ්‍රී ලංකාව ආර්ථිකය ස්ථාවරභාවය කරා ගෙන යන අතරතුර, තායිලන්තය සමඟ මෙන්ම පුළුල් ආසියාන් කලාපය සමඟ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බව විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය සඳහන් කළා ය. තායිලන්ත - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රමුඛතාව ලබා දී ඇත. මීට අමතරව, 2022 ජනවාරි 01 වැනි දින සිට බලාත්මක වූ ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපය වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව (RCEP) ගිවිසුම සමඟ සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. එබැවින්, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ ආරම්භක සාමාජිකයින් 15 දෙනාට ඇතුළත් වන තායිලන්තයේ සහය, ශ්‍රී ලංකාවේ සාමාජිකත්ව අයැදුම සඳහා ලබා දෙන ලෙස විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය ඉල්ලා සිටියේය.

සෞභාග්‍යමත්, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ විවෘත බිම්ස්ටෙක් ගමන් මගක් 2030 වන විට නිර්මාණය කිරීම පිළිබඳ දැක්ම ආරම්භ කිරීම ඇතුළුව, තායිලන්තයේ වත්මන් සභාපතිත්වය  යටතේ බිම්ස්ටෙක් සංවිධානය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මිය තායිලන්තය වෙත සුබ පැතුම් පළ කළා ය.

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රෙත්තා තවිසින් මැතිතුමා පත් කිරීම ඇතුළුව, තායිලන්තයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව යාවත්කාලීන කරන ලදී.  ශ්‍රී ලංකාව පසුගිය වසරේ සිට යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නිත්‍ය ලේකම් චරුඑන්සුවන් මහතා, දෙවර්ෂ ක්‍රියාකාරී සැලැස්ම යටතේ වන විවිධ වැඩසටහන් ආශ්‍රිත තායිලන්තයේ තාක්‍ෂණික සහය ශ්‍රී ලංකාවේ ප්‍රයත්න සඳහා අඛණ්ඩව ලබා දෙන බවද දැනුම් දුන්නේ ය.

ආසියාන් (ASEAN), බිම්ස්ටෙක් (BIMSTEC), ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භයන් තුළ සිදුවෙමින් පවතින වර්ධනයන්  ද දෙපාර්ශ්වය විසින් සමාලෝචනය කරන ලදී.

ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවලට සමගාමීව, සියම් නිවාස පරිශ්‍රයේ දී, දෙරටේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ සමාගම් අතර ව්‍යාපාර සාකච්ඡා සහ ව්‍යාපාර ගැළපුම් සැසියක් පවත්වන ලදී.

 තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම්වරයා පස්වරුවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මෙන්ම ආරක්‍ෂක හා ධීවර අමාත්‍යංශවල, වාණිජ දෙපාර්තමේන්තුවේ සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) නිලධාරීන්ගේ සහය විදේශ කටයුතු ලේකම් විජේවර්ධන මහත්මියට හිමි විය. ශ්‍රී  ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් මැතිතුමා සහ තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තායිලන්ත පාර්ශ්වය නියෝජනය කළ හ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 අගෝස්තු 28 වැනි දින

  

Print Friendly, PDF & Email
Please follow and like us:

Close