පිටත්ව යාමට නියමිත නම් කරන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් සඳහා විදේශ අමාත්‍යාංශය සාර්ථක ලෙස අනුගත කිරීමේ වැඩසටහනක් පවත්වයි

පිටත්ව යාමට නියමිත නම් කරන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් සඳහා විදේශ අමාත්‍යාංශය සාර්ථක ලෙස අනුගත කිරීමේ වැඩසටහනක් පවත්වයි

විදේශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ, විදේශ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම්, පර්යේෂණ හා මානව සම්පත් සංවර්ධන අංශය විසින් අලුතින් පත් කරන ලද නම් කරන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් සඳහා සති දෙකක අනුගත කිරීමේ වැඩසටහනක් සාර්ථක ලෙස පවත්වන ලදී.

මෙම වැඩසටහන, කලාපීය සහයෝගීතා අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ සහභාගීත්වයෙන් යුතුව 2020 ඔක්තෝබර් 05 වන දින විදේශ අමාත්‍යාංශයේ දී ආරම්භ කරන ලදී. ඇෆ්ගනිස්ථානය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ජපානය, කෙන්යාව, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සඳහා නම් කරන ලද තානාපතිවරුන්/මහ කොමසාරිස්වරුන් සහ නම් කරන ලද නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා ද මෙම සමාරම්භක සැසිවාරය සඳහා සහභාගී විය.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වශයෙන් අතථ්‍ය වේදිකාවක් මත පවත්වන ලද මෙම අනුගත කිරීමේ වැඩසටහනෙහි අරමුණ වූයේ, ජනාධිපතිවරයාගේ දැක්ම සහ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව (PNF) වන ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ට අනුව ශ්‍රී ලංකා රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ දළ සැලැස්මක් ලබා දීමයි. ශක්තිමත් ආර්ථික ජවයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව, මෙම වැඩසටහන ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික කටයුතු, ආරක්ෂක සහයෝගීතාව, රාජ්‍ය තාන්ත්‍රිකභාවය, විදේශීය ශ්‍රී ලාංකිකයන්, සන්ධාන කටයුතු සහ කොන්සියුලර් කටයුතු, කොවිඩ්-19 ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳ දැනුම සහ අවබෝධය එමඟින් වැඩි දියුණු කරන ලදී.

තවද, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE), ශ්‍රී ලංකා තේ මණ්ඩලය (SLTB), ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB), ආයෝජන මණ්ඩලය (BOI), අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ වාණිජ දෙපාර්තමේන්තුව (DoC) වැනි විදේශ දූත මණ්ඩල කාර්යයන් හා සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සංක්ෂිප්ත කරුණු දැක්වීම් ද මෙම වැඩසටහනට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට වඩාත් ප්‍රබල බලපෑමක් ඇති කරන ප්‍රවණතා පිළිබඳව දූත මණ්ඩල ප්‍රධානීන් සංවේදී කිරීමේ අරමුණින් යුතුව, ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය, ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හා ප්‍රවණතා පිළිබඳ කෙටි හැඳින්වීම් සහ මණ්ඩල සාකච්ඡා මෙම වැඩසටහනට ඇතුළත් වූ අතර, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළුව අදාළ ක්ෂේත්‍ර පිළිබඳ කීර්තිමත් විශේෂඥයින් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.

මෙම නම් කරන ලද දූත මණ්ඩල ප්‍රධානීන්, නොබෝ දිනකින් ඔවුන්ගේ අගනගරවල දී රාජකාරි භාර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 ඔක්තෝබර් 15 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close