මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරයි

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරයි

Pic-2

මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි සම්පත්, ලියාපදිංචි වීමේ තත්ත්වය පිළිබඳව නොසලකමින් ස්ථාන 16 ක පිහිටි විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල තුළ පිහිටුවා ඇති තම ඒකක හරහා සියලුම සංක්‍රමණික ශ්‍රමිකයන්ට ලබාදීමට එම කාර්යාංශය විසින් ගන්නා ලද තීරණයට අනුව, මැද පෙරදිග සිටින සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ සුභසාධන ක්‍රියාමාර්ග මෙම සතියේ දී අතිරේක වැඩිදියුණුවක් ලබා ඇති බව, මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වාර්තා කර තිබේ. මෙය දැනටමත් විදේශ අමාත්‍යංශය විසින් වෙන් කර ඇති අරමුදල් සහ ලොව පුරා නගර 67 ක පිහිටි ශ්‍රී ලංකා සංගම් සහ ආගමික ආයතන සමඟ සහයෝගයෙන් යුතුව මෙම දූත මණ්ඩල විසින් සපයනු ලබන සේවාවන්වලට අමතරව වේ. වර්තමාන COVID-19 වසංගත තත්ත්වය මධ්‍යයේ, එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීමේ ප්‍රයත්න ඉහළ නැංවීම පිණිස අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙය COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළවල් මෙහි පැමිණීම සඳහා දැනට වසා දමා ඇති හෙයින්, ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකි සංක්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාරී වීම සඳහා වේ.

අපේ‍්‍රල් 15 වැනි බදාදා දින විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙම කලාපය අධීක්‍ෂණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ පැවති වීඩියෝ සම්මන්ත්‍රණයක දී මෙම පියවරයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලදී. වර්තමාන අර්බුදය සම්බන්ධ පොදු කරුණු සහ අනෙකුත් පැතිකඩ පිළිබඳව ද මෙම රැස්වීමේ දී සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවට බහරේන්, කුවේට්, ජෝර්දානය, ලෙබනනය, ඕමානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒකකවල ප්‍රධානීන් සහභාගී විය. මීට පෙර, පසුගිය සිකුරාදා (අපේ‍්‍රල් 10) විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විදේශ සබඳතා අමාත්‍යාංශයේ සහ නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ අදාළ ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හමුවූ අතර, විශේෂයෙන් වර්තමාන කොරෝනා වයිරස් ගෝලීය වසංගතයෙන් මතුවන ප්‍රතිවිපාක පිළිබඳ සන්දර්භය තුළ මෙම සංක්‍රමණික සේවකයන් සම්බන්ධ ගැටළු විසඳීම සඳහා වන ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව එහි දී සාකච්ඡා කරන ලදී. අනතුරුව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාජික මණ්ඩලයේ රැස්වීමක දී මෙම යෝජිත වෙනස්කම් විධිමත් පරිදි අනුමත කරන ලදී.

ඉහළ යමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි සිදුවීම්වල ප‍්‍රතිවිපාකයන්ට විසඳුම් සෙවීම සඳහා මෙහි දී විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, මෙම සමහර ශ්‍රමික කොටස්වලට ඔවුන්ගේ මූලික ජීවන තත්වයන් පවත්වා ගැනීමටත්, හැකි විටෙක දී ඔවුන්ගේ නිවෙස්වල සිටින පවුල්වලට සහාය වීමටත්, හදිසි ආධාර අවශ්‍ය වී තිබේ. දැනටමත් පොදු සමාවක් ප්‍රකාශයට පත් කොට, ශ්‍රමිකයන්ට ඉවත්ව යාමට අවසර දී ඇති රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලනික වශයෙන් නියැලීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ලියාපදිංචි නොවූ සේවකයින්ගේ තත්වය නීතිගත කිරීමේ දී හැකි විසඳුම් ලබා ගැනීමට සහ කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කිරීම, රැකියා අහිමිවීම සහ නෛතික තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති විවිධ ආරවුල් සඳහා සාමකාමී විසඳුම් සෙවීමට, පළාත් පාලන ආයතන හා අදාළ කම්කරු අමාත්‍යාංශ සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස මෙම අමාත්‍යාංශය ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට උපදෙස් දුන්නේය.

COVID-19 වසංගතය ආසාදනය වී ඇතැයි සැකකරනු ලැබීම හෝ එසේ ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය ආධාර ඉල්ලා සිටින ශ්‍රී ලාංකිකයන්, අදාළ වෛද්‍ය පහසුකම් සපයන දේශීය රෝහල් වෙත යොමු කිරීමට ක්ෂණික පියවර ගනිමින් සිටින බව ද, ඉන්පසු තානාපති කාර්යාල නිලධාරීන් විසින් ඒ පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බව ද මෙම දූත මණ්ඩල අමාත්‍යාංශයට වාර්තා කළේය.

සමහර රටවල දී අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන්ට ආහාර සලාක බෙදා හැරීමේ දී හා වෛද්‍ය උපදෙස් ලබා දීමේ දී සහය වීම සහ මෙම ක්‍ෂේත්‍රයේ විශේෂඥ දැනුමැති ස්වේච්ඡා ප්‍රජා සේවකයන් හරහා ශ්‍රී ලාංකිකයන් වෙත උපදේශනය ලබා දීම මඟින්, සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ රතු ක්‍රෙසන්ට් සමිතිය වැනි බහුපාර්ශ්වික සංවිධානවලින් ලබා දුන් සහයෝගය පිළිබඳව ද මෙම වීඩියෝ සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා කරන ලදී. මෙම සහයෝගය අගය කරමින්, අඛණ්ඩ ආධාරවල අවශ්‍යතාවය පෙන්වා දෙන අතර, සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අමතර සහය ලබා දෙන ලෙස ජිනීවාහි පිහිටි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) සහ ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ (IFRC) මූලස්ථානවලින් ඉල්ලා සිටිමින්, ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය  දූත මණ්ඩලය හා සහ ශ්‍රී ලංකාවේ පිහිටි එම නියෝජිතායතනවල ප්‍රධානීන් හරහා, මෙම අමාත්‍යාංශය විසින් කරුණු ඉදිරිපත් කර ඇත.

සෑම රටකම සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සඳහා මෙම දූත මණ්ඩල විසින් පිහිටුවා ඇති දත්ත පාදක මඟින්, ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය පිළිබඳ/ඒ හා සම්බන්ධ දත්ත සම්පාදනය කිරීම සඳහා පහසුකම් සලසා ඇති අතර, එය දැනට අමාත්‍යාංශය සමඟ බෙදාගෙන ඇත. ඊට අමතරව, විදේශ අමාත්‍යංශය විසින් දියත් කරන ලද සහ එතෙර සිටින ප්‍රජාවන් අතර පුළුල් ලෙස සංසරණය වන ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය, විශේෂයෙන් මෙවන් අර්බුදකාරී කාලයක දී අමාත්‍යාංශය හා දූත මණ්ඩල සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම හා සම්බන්ධ වීම සඳහා කදිම වේදිකාවක් ලෙස වර්තමානයේ දී පවතියි. අප්‍රේල් 15 වැනි දින වන විට මෙම ද්වාරයෙහි ලියාපදිංචි වී ඇති 59,419 දෙනාගෙන් 21,575 දෙනෙක් මැද පෙරදිග කලාපයේ පදිංචි අයවලුන් වෙති.

මෙම අදාළ ස්ථානවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ දෛනික අවශ්‍යතා හා විමසීම් සඳහා ක්‍රියාත්මක වීම පිණිස, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන ඇමතුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යෙදෙන ලෙසත්, විදේශ අමාත්‍යාංශය සියලු දූත මණ්ඩලවලට උපදෙස් දී තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 අප්‍රේල් 15 වැනි දින

IMG_5272

Print Friendly, PDF & Email
Please follow and like us:

Close