විදේශ කටයුතු අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම නිමිත්තෙන් එක්සත් රාජධානියේ සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම නිමිත්තෙන් එක්සත් රාජධානියේ සංචාරයක නිරත වේ

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා 2023 මාර්තු 15 වැනි දින ලන්ඩනයේ පැවති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී විය. සාමාජික රටවල හවුල් වටිනාකම් සහ මූලධර්ම සංකේතවත් කරමින් දිවංගත මහ රැජින පොදු රාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10 ක් සපිරීම නිමිත්තෙන් පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය දින උත්සවවලට ද එතුමා මෙම සංචාරය අතරතුර සහභාගී විය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලස්ථානයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම ඇමතූ අමාත්‍ය සබ්රි මැතිතුමා, ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව පිළිබඳව තහවුරු කළ අතර පාරිසරික තිරසාරභාවය සඳහා දේශගුණික මූල්‍යකරණය, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව සඳහා අන්තර් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළඳාම ඉහළ නැංවීමේ අවශ්‍යතාව සහ ඩිජිටල් සහ හරිත අනාගතයකට පියවර තැබීම සඳහා වන ද්විත්ත්ව වෙනසට සහය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් ඔරොත්තු දීමේ හැකියාව සහිත සමාජයක් ගොඩනැගීම යන තේමා ඔස්සේ අදහස් දැක්වී ය. ඩිජිටල්කරණය සහ ඩිජිටල් වත්කම් පිළිබඳ රෙගුලාසි සක්‍රීය කිරීම සඳහා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව සඳහන් කළ එතුමා, පොදු රාජ්‍ය මණ්ඩලයට ඒ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බව ප්‍රකාශ කළේ ය. දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම කෙරෙහි ද එතුමා සිය අවධානය යොමු කළේ ය. මෙම යෝජනාව ප්‍රථම වරට යෝජනා කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (රජුගේ නීතිඥ) මහත්මිය සමඟ එතුමා පැවැත්වූ හමුව අතරතුර ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා සිය සංචාරය අතරතුර, එනම් 2023 මාර්තු 13 වැනි දින, පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය සැමරීම සඳහා පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී විය. පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් දිවංගත සෙබළුන් සහ කාන්තාවන් සිහිකිරීම සඳහා පැවති පුෂ්පෝපහාර උත්සවයක් මෙන්ම ඉන් අනතුරුව සංස්කෘතීන්වල විවිධත්වය සැමරීම සඳහා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයක් ඊට ඇතුළත් විය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ ඉදිරිපත් කිරීමක් ද මෙම දේව මෙහෙයට ඇතුළත් කර තිබිණි.

2023 වසර පොදු රාජ්‍ය මණ්ඩලයීය සාම වර්ෂය ලෙස හැඳින්වීම නිමිත්තෙන් සාමාජික ධජ සමඟ සාමය සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ධජය ද ඔසවන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් තුන්වැනි චාල්ස් රජු විසින් බකිංහැම් මාළිගයේ දී පවත්වන ලද උත්සවයකින් අනතුරුව මෙම වැඩසටහන් මාලාව අවසන් කෙරිණි. එතුමා එහිදී ප්‍රථම වරට පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස  රැස්ව සිටි පිරිස ඇමතුවේ ය.

පොදු රාජ්‍ය මණ්ඩලීය උත්සවවලට සමගාමීව, අමාත්‍ය සබ්රි මැතිතුමා එක්සත් රාජධානියේ විදේශ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලයේ දී ඉන්දු - පැසිෆික් කලාපය සඳහා වන රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරි ට්‍රෙව්ලියන් මැතිනිය හමුවිය. එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිත ඇබර්සොක් හි මර්වින් ඩේවිස් සාමිවරයා ද විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වී ය. ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු කරන ලදී.

අමාත්‍ය සබ්රි මැතිතුමා මෙම රැස්වීම් ද්විත්ත්වය අතරතුර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව එක්සත් රාජධානියේ පාර්ශ්වය දැනුම්වත් කළ අතර, එම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව වෙත ලබා දුන් සහයෝගය සහ උපකාර වෙනුවෙන් ද්විපාර්ශ්වික ණය හිමියන්ට සහ පැරිස් සමාජයේ සාමාජිකයින්ට සිය ස්තුතිය පුද කළේ ය.

අමාත්‍ය සබ්රි මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ සංවර්ධන කාර්යාලයේ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි මහතා මෙන්ම මැලේසියාව, රුවන්ඩාව යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් සහ පාකිස්තානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ද හමුවිය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලද ‘ලංකා තේ’ පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සැසියට ද අමාත්‍ය සබ්රි මැතිතුමා සහභාගී විය.  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හරස්කඩක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය. විදේශ කටයුතු අමාත්‍යවරයා සහ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නයිජල් හඩ්ල්ස්ටන් මැතිතුමා මෙහිදී දේශන පැවැත්වූ හ.

විදේශ කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය - ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකි ක්‍රම සහ විධි පිළිබඳව සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම සංචාරය නිමාවට පත් කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 මාර්තු 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close