ආරක්ෂිත, ක්‍රමවත්, විධිමත් සහ අයිතිවාසිකම් පදනම් කරගත් සංක්‍රමණ සහතික කිරීමේ වැදගත්කම විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි

 ආරක්ෂිත, ක්‍රමවත්, විධිමත් සහ අයිතිවාසිකම් පදනම් කරගත් සංක්‍රමණ සහතික කිරීමේ වැදගත්කම විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2024 නොවැම්බර් 26 වැනි දින සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන කවුන්සිලයේ 115 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය වෙත පටිගත කරන ලද වීඩියෝ පණිවුඩයක් මගින් ආරක්ෂිත, ක්‍රමවත්, විධිමත් සහ අයිතිවාසිකම් පදනම් කරගත් සංක්‍රමණ සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළේය

විධිමත් සංක්‍රමණ මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගෝලීය අවශ්‍යතාව තේමාව කොට ගත් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධාන කවුන්සිලයේ 115 වැනි සැසිවාරය 2024 නොවැම්බර් 26-28 වැනි දින දක්වා ජිනීවා නුවර පැවැත්විණි.

එහි සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ

2024 නොවැම්බර් 29 වැනි දින

 ----------------------------------------

 

 

සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධාන කවුන්සිලයේ 115 වැනි සැසිවාරය

විධිමත් සංක්‍රමණ මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගෝලීය අවශ්‍යතාව 

ඉහළ පෙළේ සාකච්ඡා වටය - 2024 නොවැම්බර් 26

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශය

 

 

සභාපතිතුමනි,

සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානයෙහි අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

අතිගරුතුමනි,

 “විධිමත් සංක්‍රමණ මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා පවතින ගෝලීය අවශ්‍යතාවයන වැදගත් තේමාව යටතේ මෙම ඉහළ පෙළේ සාකච්ඡා වටය සංවිධානය කිරීම සම්බන්ධයෙන් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය වෙත අපගේ ප්‍රශංසාව පළ කිරීමට කැමැත්තෙමි.

සංක්‍රමණය වනාහි සියවස් ගණනාවක සිට පැවැත එන මානව පැවැත්මේ කොටසකි. වර්තමානයේ මිනිසුන් ස්වේච්ඡාවෙන් හෝ මූලික වශයෙන් රැකියාව සඳහා සංක්‍රමණය වන අතර නැතහොත් ඔවුහු ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස, ගැටුම් සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් සංක්‍රමණය වීමට පෙළඹෙති. මෙම සංක්‍රමණ ක්‍රියාවලියේදී, සිය ජීවිත පරදුවට තබා ඔවුහු වැඩි වශයෙන් සංක්‍රමණයේ අක්‍රමවත් මාර්ගවලට යොමු වෙන අතර බොහෝ විට මිනිස් ජාවාරමට ගොදුරු වෙති.

දේශගුණික විපර්යාස, ලොව පුරා පවතින ගැටුම් තත්ත්වයන් සහ ණය අර්බුද හේතුවෙන් ඇති වන ආර්ථික පීඩන, අවිධිමත් සංක්‍රමණ මාර්ග තෝරා ගැනීමෙහිලා  ඇති කරන බලපෑම්වලින සැබෑ අහිතකර බලපෑමට දැඩි ලෙස ලක්වනුයේ පහසුවෙන් අවදානමට ලක්විය හැකි, කාන්තාවන් සහ ළමුන් වේ.

ගෝලීය සංක්‍රමණ සීඝ්‍රයෙන් පරිණාමය වන පසුබිම තුළ සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සතු කාර්යයෙහි අදාළත්වයද වර්ධනය වේ. එබැවින්, මෙම අභියෝගවලට විස්තීර්ණ ලෙස ප්‍රතිචාර දැක්වීමට රාජ්‍යයන් දරන ප්‍රයත්න සඳහා සහාය දැක්වීමට සහ ශක්තිමත් කිරීමට  අදාළ සියලුම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ තවදුරටත් තිරසාර සහ සම්බන්ධීකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානයෙන් අපි ඉල්ලා සිටිමු. තවද, සංක්‍රමණයේ යෙදී සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික ප්‍රයත්න කලාපීය සහ ජාත්‍යන්තර මුලපිරීම් සමඟ බාධාවකින් තොරව ක්‍රියාත්මක කළ යුතු අතර, අවදානම් අවම වන බව සහතික කිරීම සහ විධිමත් සංක්‍රමණ මාර්ග ශක්තිමත් කිරීමද සිදු කළ යුතුය.

සංක්‍රමණයට අදාළව ලැබුම්, සංක්‍රමණ සහ යැවුම් රාජ්‍යයක් ලෙස, ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර මුලපිරීම් හරහා ආරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ මාර්ග ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි. සංක්‍රමණිකයන් මනුෂ්‍යයන් වන බැවින් සහ සංක්‍රමණ, අයිතිවාසිකම් මත පදනම් විය යුතු හෙයින් ජාත්‍යන්තර වශයෙන් අයිතිවාසිකම් මත පදනම් වූ සංක්‍රමණ ප්‍රවර්ධනය කිරීම පිණිස ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටියි. සියලුම සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවන් වු හැටට ශ්‍රී ලංකාවද අයත් වේ.

මෙම සන්දර්භය තුළ, 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ආරක්ෂාකාරී, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ සඳහා වන ගෝලීය සම්මුතියේ වැදගත්කම ශ්‍රී ලංකාව අවධාරනය කරයි. එහි අරමුණු විසිතුන මගින් සංක්‍රමණයේ සෑම මානයක්ම පාහේ ආවරණය කරයි.

ආරක්ෂාකාරී, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ සඳහා වන ගෝලීය සම්මුතියේ න්‍යාය පත්‍රයට අප සතු කැපවීම ශක්තිමත් කරමින් ආරක්ෂාකාරී, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ සඳහා වන ගෝලීය සම්මුතියේ ශූර රටක් වීමට ශ්‍රී ලංකාව උනන්දු වන බව සතුටින් දන්වා සිටිමි.

2025 පෙබරවාරි මස බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිත ආරක්ෂාකාරී, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ සඳහා වන ගෝලීය සම්මුතියෙහි දෙවැනි ආසියා-පැසිෆික් කලාපීය සමාලෝචනයේ පූර්වගාමියා ලෙස මෑතකදී ශ්‍රී ලංකාව සහ සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය, ආරක්ෂාකාරී, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ සඳහා වන ගෝලීය සම්මුතියේ පිළිබඳ දකුණු ආසියා උප කලාපීය උපදේශන වටයේ සම සත්කාරකත්වය දැක්වූහ. (1) ශ්‍රම සංක්‍රමණ; (2) ප්‍රති-ජාවාරම්; සහ (3) දේශගුණය නිසා ඇතිවන විස්ථාපනය වැනි දකුණු ආසියාවට වැදගත් වන ප්‍රධාන අංශ තුනක් කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී සිදු විය. මෙම උපදේශනය දකුණු ආසියානු රටවල රජයන් සහ සිවිල් සමාජය මෙන්ම බහුවිධ දේශීය පාර්ශවකරුවන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන අතර සංවාද සහ සාකච්ඡා සඳහා මහඟු වේදිකාවක් ලෙස සේවය කළේය. එහි කරුණු බැංකොක් නුවර පැවැත්වීමට නියමිත කලාපීය සමාලෝචනය සඳහා ප්‍රතිඵල ලේඛනයකින් වාර්තා කරනු ඇත.

වසර 2003 දී පිහිටුවන ලද කලාපීය උපදේශන ක්‍රියාවලියක් වන Colombo Process හි ආරම්භක සභාපතිත්වය දරන රට ලෙස ශ්‍රී ලංකාව, දකුණු සහ අග්නිදිග ආසියානු සම්භවයක් ඇති රටවල ශ්‍රම සංක්‍රමණට අදාළ යහ භාවිතයන් බෙදාහදා ගැනීම ප්‍රවර්ධනය කරමින් කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කැපවී සිටියි.

සීඝ්‍රයෙන් විකාශනය වන ගෝලීය සන්දර්භයට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාව විසින් ආරක්ෂාකාරී, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණ සඳහා වන ගෝලීය සම්මුතියේ ක්‍රියාත්මක කිරීම හා සමගාමීව රැකියා සඳහා සංක්‍රමණ පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම 2023 - 2027 පසුගිය වසරේ දියත් කරනු ලැබිණි.

තිරසාර සංවර්ධනයට දායක වන සංක්‍රමණ පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ විශේෂයෙන් සංක්‍රමණ සඳහා අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයක් එහි ශ්‍රී ලංකා කාර්යාලය හරහා ලබා දෙන  සංක්‍රමණ සඳහා වන  ජාත්‍යන්තර සංවිධානය විසින් සපයනු ලබන වටිනා සහයෝගය ශ්‍රී ලංකාව අගය කරයි.

අවසාන වශයෙන්, සැමට ප්‍රයෝජනවත් වන ආරක්ෂිත, ක්‍රමවත්, විධිමත් සහ අයිතිවාසිකම් පදනම් කරගත් සංක්‍රමණ සහතික කිරීම සඳහා සංක්‍රමණ සඳහා වන  ජාත්‍යන්තර සංවිධානය මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම මම යළි අවධාරණය කරමි.

ස්තුතියි!

Please follow and like us:

Close