
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ පදිංචි හා ශ්‍රී ලංකාවට සමගාමී ප්‍රතීතනය ලත් දූත මණ්ඩල ප්‍රධානීන්, කොළඹ පිහිටි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී පිරිස පිළිගැනීම උදෙසා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබිණි. ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් සංවත්සරය සැමරීමට සමගාමීව මෙම උත්සවය පවත්වන ලදී.
සම්භාවනීය පිරිස පිළිගනිමින් අමාත්‍ය හේරත් මහතා, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික දැක්ම සහ එහි ප්‍රගතිය පිළිබඳව සම්භාවනීය දූත පිරිසට අවධාරණය කළේය. ජනතාවට පුළුල් අවස්ථා හිමිකර දෙන සහ සියලු දෙනා ඇතුළත්වන වර්ධනයක් සහතික කරන ජනතා කේන්ද්‍රීය සංවර්ධනයේ වැදගත්කම පිළිබඳවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම, දිට්වා සුළි කුණාටුව වැනි මෑත කාලීන අභියෝගවලදී ජාත්‍යන්තර ප්‍රජාව දැක්වූ සහයෝගයට කෘතඥතාව පළ කිරීම සඳහා අමාත්‍ය හේරත් මහතා මෙම සුහද හමුව අවස්ථාවක් කර ගත් අතර, සුබවාදීව යළි ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව සතු ශක්තිය සහ අධිෂ්ඨානය නැවත තහවුරු කළේය.
ශ්‍රී ලංකාවේ චිරස්ථායී ශක්තිය සහ ගෝලීය ප්‍රජාව සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරමින්, මිත්‍රත්වය සහ සහයෝගීතාව නවමු කර ගැනීමත් සමඟින් මෙම සුහද හමුව අවසන් විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
කොළඹ
2026 පෙබරවාරි 06 වැනි දින







