විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උත්සව සඳහා සහභාගී වේ

 විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උත්සව සඳහා සහභාගී වේ

22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරතව සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 13 වැනි දින, පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය සැමරීම සඳහා පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී විය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති දේව මෙහෙය මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන වැඩසටහන වූ අතර, තුන්වැනි චාල්ස් රජු, රජුගේ බිසව සහ රාජකීය පවුලේ සාමාජිකයින් ඊට සහභාගී විය. මෙම දේව මෙහෙය අතරතුර, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෝගොඩ සීලවිමල ස්වාමීන්ද්‍රයන් බොදුණුවන් නියෝජනය කරමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවලට සහ එම රටවල ජනතාවට ආශිර්වාද පැතූ හ. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකික කලාකරුවන් දෙපළක් වන රොෂානි ඇබේ සහ නුවන් හියු පෙරේරා යන අයට මෙම දේව මෙහෙය අතරතුර ගීත ඉදිරිපත් කිරීමක් සිදු කිරීම සඳහා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් අවස්ථාව සලසන ලදී. තරුණ තරුණියන් පිරිසක් මෙම දේව මෙහෙය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 56 නියෝජනය වන පරිදි ධජ රැගෙන ගමන් කළහ. තේජානි මහදිවුල්වැව ශ්‍රී ලංකා ධජය රැගෙන ගමන් කළා ය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය නිමිත්තෙන් තුන්වැනි චාල්ස් රජු විසින් බකිංහැම් මාළිගයේ දී පවත්වන ලද උත්සවයට ද විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා මෙම අවස්ථාවට පෙර පොදු රාජ්‍ය මණ්ඩලයීය දින ධජය උත්සවාකාරයෙන් එසවීමේ අවස්ථාවට ද සහභාගී. පාර්ලිමේන්තුවේ ගරු කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙස්ට්මිනිස්ටර් මාළිගයේ දී මෙම උත්සවය පවත්වන ලදී. පළමු හා දෙවැනි ලෝක යුද්ධ සමයේ ත්‍රිවිධ හමුදාවේ සේවය කළ මිලියන පහක සෙබළුන් සහ කාන්තාවන්ට උපහාර දැක්වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයීය අනුස්මරණ ද්වාරය ඉදිරිපිට පුෂ්පෝපහාර දැක්වූ අමාත්‍යවරයා සාමය සඳහා වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ධජය එසවීම සඳහා මාල්බරෝ මන්දිරයේ පැවති උත්සවයට ද සහභාගී විය.

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය ද විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සමඟ මෙම උත්සවවලට සහභාගී වූවා ය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2023 මාර්තු 15 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close