විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කයිරෝ නුවරදී ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර සබඳතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කයිරෝ නුවරදී ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර සබඳතා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, ඊජිප්තුවේ විදේශ කටයුතු, විගමන සහ ඊජිප්තු ප්‍රවාසිකයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය බදර් අබ්දෙලාති මහතාගේ ආරාධනයෙන් 2024 අගෝස්තු 07 වැනි දින සිට 11 වැනි දින දක්වා ඊජිප්තුවේ නිල සංචාරයක නිරත විය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය පාර්ශ්වකරු වන ආචාර්ය බදර් අබ්දෙලාති මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූ අතර ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළේය. වෙළඳාම, ආයෝජන, සංචාරක, අධ්‍යාපනය, සංස්කෘතිය, පුරාවිද්‍යාව, සමුද්‍රීය ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය සහ දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍රවල සමීප සබඳතා ඇති කර ගනිමින් දෙරට අතර සබඳතා පුළුල් කිරීමට ඇති හැකියාව දෙපාර්ශ්වයම සඳහන් කළහ. පොදු උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු සහ බහුපාර්ශ්වික වේදිකාවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද අමාත්‍යවරු දෙදෙනා සාකච්ඡා කළහ.

ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන්වූ පසු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ ඊජිප්තු විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයටද ඊජිප්තු විදේශ අමාත්‍ය ආචාර්ය බදර් අබ්දෙලාති මහතා සමඟ එක් විය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික පුහුණුව, ශක්‍යතා සංවර්ධනය, පර්යේෂණ සහ අධ්‍යයන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ තහවුරු කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වේ.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජනවල සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව ආයෝජන සහ විදේශ වෙළෙඳ අමාත්‍ය හසන් එල් කතිබ් මහතා සහ නිදහස් කලාප සහ ආයෝජන පිළිබඳ පොදු  අධිකාරියේ සභාපතිවරයා සමඟ අමාත්‍ය සබ්රි මහතා සාකච්ඡාවල නිරත වූ අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර, වෙළඳ නියෝජිත කණ්ඩායම් හුවමාරු කිරීමේ වැදගත්කම සහ වෙළඳ උපදේශන යාන්ත්‍රණය ඉක්මනින් කැඳවීම පිළිබඳව අවධානය යොමු කළේය.

මෙම අන්තර්ක්‍රියා අතරතුර, ඊජිප්තුව තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ආයෝජනයන් පිළිබඳව ඊජිප්තු පාර්ශ්වය සිය ප්‍රශංසාව පළ කළ අතර, ඊජිප්තුව තුළ ශ්‍රී ලංකාවේ ආයෝජන නංවාලීමට සහ ආයෝජකයින් මුහුණ දිය හැකි ඕනෑම අභියෝගයක් ජය ගැනීමට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

මෙම සංචාරයේදී අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ පූජනීය ඉස්ලාම් ආගමික නායක ආචාර්ය ෂෝකි ඊබ්‍රාහිම් අලාම් උතුමාණන් හමුවී ආගමික සහයෝගිතාව, සංස්කෘතික සබඳතා, අන්තවාදය සහ රැඩිකල්කරණයට එරෙහිව සටන් කිරීම, සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර මානව සබඳතා වැඩි දියුණු කිරීම සම්බන්ධ කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර වෙළෙඳ සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඊජිප්තු වාණිජ මණ්ඩල සම්මේලනය සමඟ සම්බන්ධීකරණයෙන් කයිරෝ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද උත්සවයකටද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගී විය. විශේෂයෙන් කෘෂිකර්මය, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති සහ සංචාරක යන ක්ෂේත්‍රවල දෙරට අතර වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම සඳහා ප්‍රයෝජනයට නොගත් හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම පිළිබඳව මෙම අවස්ථාවේදී සාධනීය සාකච්ඡාවක් සිදු විය. දෙරටේ අන්‍යෝන්‍ය වර්ධනය සහ සෞභාග්‍යය සඳහා ශ්‍රී ලංකාව සතු ආකර්ෂණීය වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට ඊජිප්තු ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කිරීමට විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මහතා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේය.

අමාත්‍යවරයා විදේශ කටයුතු සඳහා ඊජිප්තු කවුන්සිලයේ සභාපති, තානාපති මොහොමඩ් අල් ඔරාබි මහතා සහ එහි සාමාජිකයින් පිරිසක් බැහැදැක කලාපයේ වර්ධනයන් සහ විදේශ කටයුතු සඳහා ඊජිප්තු කවුන්සිලය සමඟ ඇති ඇති කර ගත හැකි සහයෝගිතාව පිළිබඳ සාකච්ඡාවක නිරත විය.

 විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 2024 අගෝස්තු 13 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close