ප්‍රතිඵලදායක හා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයකට යන මඟ දෙරටේ විදේශ අමාත්‍යවරු සාකච්ඡා කරති

ප්‍රතිඵලදායක හා අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ලැබෙන ශ්‍රී ලංකා-හංගේරියානු ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයකට යන මඟ දෙරටේ විදේශ අමාත්‍යවරු සාකච්ඡා කරති

හංගේරියානු විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍ය පිටර් සියාර්තෝ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉකුත් සිකුරාදා හංගේරියාවේ, බුඩාපෙස්ට් නුවර සංචාරයක නියැළිණි. මෙම වසරේ සැමරෙන ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ හැටවැනි සංවත්සරයට සමගාමීව හංගේරියානු විදේශ අමාත්‍ය සියාර්තෝ මහතාගේ ආරාධනාව මත මෙම සංචාරය සිදු කෙරිණි.ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරනු ලැබූයේ 1959 පෙබරවාරී මාසයේදී ය.

නැගෙනහිර සහ මධ්‍යම යුරෝපා රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති දැඩි උනන්දුව අවධාරණය කළ අමාත්‍ය මාරපන මහතා,  පුළුල් ප්‍රතිපත්තිමය පරාසයක් හරහා හංගේරියාව සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම එකී ප්‍රයත්නයේ මූලිකාංගයක් බව පැවැසීය. ආර්ථික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා-හංගේරියා ඒකාබද්ධ කොමිසම සහ 2017 දෙසැම්බර් මාසයේදී අත්සන් කරනු ලැබූ ‘මුල්‍ය සහයෝගය සඳහා වන රාමුගත වැඩසටහනක් ස්ථාපනය කිරීමේ ගිවිසුම’ මඟින් නිර්මාණය කරනු ලැබූ රාමුව තුළ ද්විපාර්ශ්වික ආර්ථික හා මුල්‍ය සහයෝගීතාව ඉතාමත් ශක්තිමත් ආකාරයකින් දැනට ක්‍රියාත්මක වේ. 2019 මාර්තු මාසයේ පැවැති ඒකාබද්ධ කොමිසමේ පළමුවැනි සැසිවාරයෙන් අනතුරුව එකඟ වූ සහයෝගීතා ක්ෂේත්‍ර අතර, කෘෂිකර්මය හා ආහාර ආර්ථිකය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය, ජල කළමනාකරණය හා අපජල පිරිපහදුව, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණ, ආපදා කළමනාකරණ, සුව සංචාරක කටයුතු හා පුනර්ජනනීය බලශක්තිය ආදිය වේ . මේ ක්ෂේත්‍ර බොහෝමයක් යටතේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ප්‍රත්‍යක්ෂ යෝජනා හඳුනාගෙන ඇත. හංගේරියානු ණය ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති හතරේ වර්තමාන තත්ත්වයද අමාත්‍යවරුන් දෙපළගේ සමාලෝචනයට බඳුන් විය.  මෙම ව්‍යාපෘති වනුයේ,  බිංගිරිය-උඩුබද්දාව ජල සැපයුම් ව්‍යාපෘතිය (යූරෝ මිලියන 53),කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීම (යූරෝ මිලියන 52 ), දුම්රිය හරස් මාර්ග ගේට්ටු 148 සුරක්ෂිත කිරීම (යූරෝ මිලියන 12) සහ ඉලෙක්ට්‍රොනික අධිකරණ කළමනාකරණ පද්ධතිය (යූරෝ මිලියන 32) යන ව්‍යාපෘති ය. ලබුගම ජල පිරිපහදුව ප්‍රතිසංස්කරණය කිරීම (ඇ.ඩො. මිලියන 22.5) සහ කලටුවාව ජල පිරිපහදුව ප්‍රතිසංස්කරණය කිරීම (ඇ.ඩො. මිලියන 23.4) යන ව්‍යාපෘති 2017 දී ක්‍රියාත්මක කෙරිණි.

පාස්කු ඉරුදින ප්‍රහාරවල වින්දිතයන් සඳහා හංගේරියානු රජය සහ එරට ජනතාව ලබා දුන් හංගේරියානු ෆොරින්ට් මිලියන 20 (යූරෝ 65,000) ක් වටිනා හදිසි මානුෂීය ආධාර වෙනුවෙන් අමාත්‍ය මාරපන මහතා ඔවුන්ට සිය ස්තූතිය පුද කළේය. ජාතික සංහිඳියාව, යහපාලනය හා අන්තර්ගත ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා කැපවීමෙන් යුතුව රජය දරන ප්‍රයත්න සම්බන්ධයෙන් ඒ මහතා අමාත්‍ය සියාර්තෝ මහතා දැනුම්වත් කළේය. මෙම පරිවර්තනීය ගමනේදී ශ්‍රී ලංකාව අඛණ්ඩව මුහුණ පාන අභියෝගද අමාත්‍ය මාරපන මහතා ඉස්මතු කොට පෙන්වීය. ඊට පිළිතුරු වශයෙන්, පාස්කු ඉරුදින ප්‍රහාරවලින් ඉක්බිතිවද ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ඇතිවමින් පවතින ධනාත්මක ප්‍රවණතා සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ හංගේරියානු විදේශ අමාත්‍යවරයා, එම ගමනේදී ශ්‍රී ලංකාව මුහුණ පාන දුෂ්කරතා හංගේරියාව දන්නා බවත්, රටේ සංවර්ධන වැඩසටහන්වලට සහ ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට හා ජාත්‍යන්තර ප්‍රජාවට ප්‍රවේශ වීමට දරන ප්‍රයත්නවලට සිය රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවත් ප්‍රකාශ කළේය.

මෙම සංචාරය අතරතුරදී අමාත්‍ය මාරපන මහතා හංගේරියානු ජාතික මන්ත්‍රණ සභාවේ නියෝජ්‍ය කතානායක ඉස්ත්වාන් යාකබ් මහතාද හමු විය. ඒ 2018 වසරේදී මන්ත්‍රණ සභාව තුළ පිහිට වූ හංගේරියානු-ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සන්දර්භය තුළ ය. පාස්කු ඉරුදින ප්‍රහාරවලින් අනතුරුව එහි වින්දිතයන් වෙනුවෙන් හංගේරියානු කතෝලික ප්‍රජාව ලබාදුන් හදිසි මුල්‍යාධාර සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් සිය පෞද්ගලික ස්තූතිය පිරිනැමීම පිණිස ඒ මහතා සොම්බතෙලි දියෝකීසියේ බිෂොප්වර ආචාර්ය අන්ද්‍රාස් වෙරෙස් හිමිපාණන්ද හමු විය. අමාත්‍ය මාරපන මහතා හංගේරියානු ණය ආධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති හතරට සම්බන්ධ හංගේරියානු සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ සංවාද සැසියක්ද පැවැත්වීය. බිම්මල් වගාව හා ඊට වටිනාකම් එකතු කිරීම සම්බන්ධයෙන් විශේෂඥභාවයක් උසුලන බයෝ ෆන්ගි කෘෂි ආහාර කර්මාන්ත ශාලාව නැරඹීමටද අමාත්‍යවරයා ගියේය.එහි නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ඇරඹීම සම්බන්ධයෙන් එම ආයතනයේ සාමාන්‍යාධිකාරී අර්පද් මුට්සි මහතා සමඟ සාකච්ඡා පැවැත්විණි.

හංගේරියාවේ ශ්‍රී ලංකා අතරතුර තානාපතිනි ඉරෝෂා කුරේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා සේමසිංහ යන මහත්මීහූ මෙම නිල සංචාරයට සහ පැවැති සාකච්ඡාවලට එක් වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

 

2019 ජූනි 19 වැනිදා

Szijjártó Péter külgazdasági és külügyminiszter és Tilak Marapana, Srí Lanka-i külügyminiszter találkozója 2019. június 14-én a Külgazdasági és Külügyminisztériumban. Fotó:KKM/Burger Zsolt

Szijjártó Péter külgazdasági és külügyminiszter és Tilak Marapana, Srí Lanka-i külügyminiszter találkozója 2019. június 14-én a Külgazdasági és Külügyminisztériumban. Fotó:KKM/Burger Zsolt

Image 04 new 1 Image 05

Print Friendly, PDF & Email
Please follow and like us:

Close