ශ්‍රී ලංකා- රුමේනියා දේශපාලන උපදේශනවල පස්වැනි වටය කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

ශ්‍රී ලංකා- රුමේනියා දේශපාලන උපදේශනවල පස්වැනි වටය කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමාගේ සහ රුමේනියාවේ රාජ්‍ය ලේකම් ට්‍රෙයන් රිස්ටියා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා - රුමේනියා ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල පස්වැනි වටය 2023 ජූනි 26 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී සාර්ථකව අවසන් විය.

ශ්‍රමිකයන්, වෙළඳාම සහ ආයෝජන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සයිබර් ආරක්‍ෂාව, අධ්‍යාපනය සහ ධාරිතා ගොඩනැගීම යන ක්ෂේත්‍රවලට අදාළ ආයතනික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින නව මාර්ග ශ්‍රී ලංකාව සහ රුමේනියාව විසින් හඳුනාගන්නා ලදී. දෙරටේ පිහිටීම කෙරෙහි අවධානය යොමු කළ රුමේනියානු පාර්ශ්වය, විශේෂයෙන් සැපයුම් අංශය ඇතුළුව වරාය කටයුතු ආශ්‍රිත හවුල්කාරිත්වයකට එළඹීමේ හැකියාව ගවේෂණය කිරීම සම්බන්ධයෙන් තමන් සතු දැඩි උනන්දුව පළ කළේ ය.

කම්කරු අංශයේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකකි. රුමේනියාව තුළ පවතින රැකියා කාණ්ඩවලට අදාළව ශ්‍රී ලාංකික සේවකයින් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආධුනිකත්ව සහ තාක්ෂණික පුහුණු ආයතන රුමේනියානු පාර්ශ්ව සමඟ සම්බන්ධ කිරීම සහ රුමේනියාව හරහා රාජ්‍යයන් අතර (G2G) ශ්‍රම කෝටාව ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ හැකියාව යන කරුණු ද මෙම දේශපාලන උපදේශනවලදී සාකච්ඡාවට බඳුන් වූ ක්ෂේත්‍රවලට ඇතුළත් විය.

සංක්‍රමණික ශ්‍රමිකයන් පිළිබඳ ආයතනික යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුමකට  අත්සන් තැබීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරන ලදී. මෙම යෝජිත ගිවිසුම, දෙරට අතර ව්‍යුහාත්මක සහයෝගීතාව සඳහා ඉවහල් වන අඩිතාලමක් බවට පත්වනු ඇත.

දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව ද රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා සහ රාජ්‍ය ලේකම් රිස්ටියා මැතිතුමා විසින් අදහස් හුවමාරු කරගන්නා ලදී.

පසුගිය වසර 34ක කාලය තුළ රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු කොළඹට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. උපදේශන වටයට පෙර, එනම් 2023 ජූනි 16 වැනි දින බුකාරෙස්ට්හි දී රුමේනියාවේ කම්කරු සහ සමාජ සහයෝගීතා රාජ්‍ය ලේකම් මැඩලින් - ක්‍රිස්ටියන් වසිල්කොයි මැතිතුමා හමු වූ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, එම ප්‍රදේශයේ නැගී එන අභියෝග ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාව තුළ ලබා ගත හැකි රැකියා අවස්ථා පිළිබඳ ඵලදායී සාකච්ඡා පැවැත්වී ය. රාජ්‍ය අමාත්‍යවරයා සිය රුමේනියා සංචාරය අතරතුර බුකාරෙස්ට් හි පැවති කම්කරු ව්‍යාපාරික සංසදයක් ද ඇමතුවේ ය.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තහවුරු කිරීමට සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට සේවය සැපයීම අරමුණු කරගනිමින් රුමේනියාව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් විවෘත කිරීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකාව නිරතව සිටියි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 ජූනි 30 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close