ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූපත් නියෝජිතයෝ, ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට සහතික වෙති.

 ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූපත් නියෝජිතයෝ, ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට සහතික වෙති.

ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කැනේස් සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හමුවූහ.

කියුබාවේ තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හමුවූ අවස්ථාවේදී, ශ්‍රී ලංකාව කියුබාව සමඟ පවත්වාගෙන යන දිගුකාලීන විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව සිහිපත් කළ අතර, කියුබානු ජාතික වීරයෙකු වන ජෝස් මාර්ටිගේ ප්‍රතිමාව කොළඹ නගරයේ ස්ථාපනය කිරීම, වෙළෙඳ හා ආර්ථික, ආයෝජන, අධ්‍යාපනය, සෞඛ්‍ය, සංස්කෘතිය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව, ජාත්‍යන්තර සංසදවල සහයෝගය හුවමාරු කර ගැනීම සහ ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම ආදිය පිළිබඳව සාකච්ඡා කළේය.

බ්‍රසීලයේ තානාපති සර්ජියෝ ලුයිස් කානේස්, නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හමුවූ අවස්ථාවේදී, ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දශක ගණනාවක් තිස්සේ පැවැති විශිෂ්ට සබඳතා සහ සහයෝගීතාව සිහිපත් කළ අතර, බ්‍රසීල සහයෝගිතා ආයතනය විසින් ශ්‍රී ලංකාවට උක් කර්මාන්ත සහ කිරි නිෂ්පාදන ව්‍යාපෘති සඳහා තාක්ෂණික සහය ලබා දීම, බ්‍රික්ස් සංවිධානයෙහි සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත්කොට ඇති ඉල්ලීම, දේශපාලන උපදේශනයන්හි දෙවනි වටය පැවැත්වීම, ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම, ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම, අපේක්ෂිත ද්විපාර්ශ්වික ගිවිසුම්/අවබෝධතා ගිවිසුම් ඉක්මනින් අවසන් කිරීම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සහයෝගීතාව ආදිය පිළිබඳව සාකච්ඡා කළහ.

බ්‍රසීලය සහ කියුබාව සමඟ ශ්‍රී ලංකාව පවත්වන දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තහවුරු කිරීම සඳහා බ්‍රසීල තානාපති ලුයිස් කැනේස් සහ කියුබානු තානාපති ගොන්සාලෙස් ගැරිඩෝ යන දෙදෙනාම ඉදිරි වසරවලදී තම පූර්ණ කැපවීම සහ සහයෝගය ලබා දෙන බව සහතික කළ අතර, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අරමුණු කොටගෙන ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ රටවල් සමඟ සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරමින් ඒ සඳහා නව රජයේ පූර්ණ කැපවීම සහ සහයෝගය ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලතින් ඇමරිකානු සහ කැරිබියන් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සී. ඒ. චමින්දා අයි. කොලොන්නේ සහ කොළඹ බ්‍රසීල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මොනිකා මාරියා මයිරෙල්ස් නසාර් සහ කොළඹ කියුබානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මිරියම් රෝසා නවරෝ මෙම සාකච්ඡාවලට එක් වූහ.

 කියුබාව සහ බ්‍රසීලය පිළිවෙලින් වර්ෂ 1959 සහ 1960 දී ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගත්හ. රටවල් දෙකම ශ්‍රී ලංකාවේ නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාවද එම රටවල් දෙකෙහි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල පිහිටුවා ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

කොළඹ

 2025 ජුනි 05 වැනි දින

Please follow and like us:

Close