ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 75 වැනි නිදහස් සංවත්සරය සමරයි

ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 75 වැනි නිදහස් සංවත්සරය සමරයි

ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් 2023 පෙබරවාරි 04 වැනි දින රෙයියුකායි කොටානි ශාලාවේ දී නිල උත්සවයක් පැවැත්වී ය. මෙම උත්සවය ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆකුඩා මැතිතුමා, ජපාන - ශ්‍රී ලංකා සංගමයේ ගරු සභාපති යොෂිතකා සකුරාදා මැතිතුමා, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී, ටෝකියෝ ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා භාර හිටපු අමාත්‍ය, ජපාන - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව ලීගයේ විධායක ලේකම් නොබුමිට්සු හයාෂි මැතිතුමා,  ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ (JBIC) අධිපති සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ ජපාන රජයේ හිටපු නියෝජිත, තානාපති යසුෂි අකාෂි මැතිතුමා ඇතුළු ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ජපාන රජයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරු, ශ්‍රී ලංකාවේ හිටපු ජපාන තානාපතිවරු, දකුණු ආසියාතික රටවල තානාපතිවරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූ අනෙකුත් ආරාධිතයන් පිරිසට ඇතුළත් වූහ. ජපාන රජය, රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, සමාගම්, විවිධ ක්ෂේත්‍රවල නියුතු වෘත්තිකයන්, විද්වතුන් සහ ජපානයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික සංගම්වල සාමාජිකයන් ඇතුළු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කළ අමුත්තන් 400 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සමරනු ලැබී ය.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව සිංහල සහ දමිළ බසින් ජාතික ගීය ගායනා කරන ලදී. ඉන් අනතුරුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් යන ආගම් නියෝජනය කරමින් සර්ව ආගමික වතාවත් පැවැත්විණි. මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සැමට උපහාරයක් වශයෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි. තවද, ජනාධිපතිවරයා නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කළ පණිවිඩය භාෂා ත්‍රිත්වයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර අග්‍රාමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පණිවිඩ තානාපති කාර්යාලයේ සමාජ මාධ්‍ය ජාලා හරහා පළ කරන ලදී.

පැමිණ සිටි පිරිස ඇමතූ තානාපති රොඩ්නි පෙරේරා මැතිතුමා, වසර 71 කට පෙර දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමට පෙර සිටම පැවති ඉහළ මට්ටමේ සහයෝගිතාව සහ ශක්තිමත් පුද්ගලාන්තර සබඳතාවලින් යුක්ත ශ්‍රී ලංකා- ජපාන බහුවිධ සබඳතා පිළිබඳව අදහස් දැක්වී ය. ජපානය දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව සමඟ පවත්වන ව්‍යාපාරික සහයෝගිතාව පිළිබඳව ද අවධානය යොමු කළ තානාපතිවරයා, ජපානයේ නව තාක්‍ෂණය සහ නවෝත්පාදන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික විභවයන් ප්‍රයෝජනය සඳහා යොදා ගනු ඇතැයි අපේක්ෂා කළේ ය. තවද, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි පුබුදුවාළීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්හි දී ජපාන රජය විසින් ඉටු කරන ලද ධනාත්මක කාර්යභාරය අගය කළ තානාපතිවරයා, දෙපාර්ශ්වයේ ඉහළ මට්ටමේ සංචාර සහ දෙරටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල අඛණ්ඩ උත්සාහයන් සමඟින් දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික සහ රැකියා ක්ෂේත්‍ර ආශ්‍රිත සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කළේ ය. ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සිදු කළ කැපී පෙනෙන මුලපිරීම් ඇගයූ එතුමා, එම කවුන්සිලය ආරම්භ කර දශක දෙකක් සපිරීම සනිටුහන් කරමින් මෙම අවස්ථාව සඳහා  ඔවුන් දක්වන අනුග්‍රහය අගය කළේ ය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පැවති දීර්ඝ කාලීන සබඳතා පිළිබඳව සිහිපත් කළ හිටපු අග්‍රාමාත්‍ය යසුඕ ෆුකුඩා මැතිතුමා, ජනාධිපතිවරයාගේ අනුදැනුම සහ එතුමා ජාත්‍යන්තර ප්‍රජාව තුළ ලබන පිළිගැනීම මත වත්මන් ආර්ථික දුෂ්කරතාවලින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලන ක්‍රමයට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේ ය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී ජපානය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා වත්මන් තානාපතිවරයා වැනි පුළුල් අත්දැකීම් සහිත ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයකු තානාපතිවරයා ලෙස පත් කිරීම පිළිබඳව ද එතුමා සිය ප්‍රශංසාව පළ කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, අන්‍යෝන්‍ය වශයෙන් ගෞරවනීය සහ ප්‍රයෝජනවත් ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කිරීම අත්වැල් බැඳ ගන්නා ලෙසත් එතුමා දෙරටේම රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියේ ය.

1951 වසරේ දී සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුවේ දී දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සිදු කළ කතාව පිළිබඳව සිහිපත් කළ ජපාන ශ්‍රී ලංකා සංගමයේ ගරු සභාපති යොෂිතකා සකුරාදා මැතිතුමා, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ජපානය මුහුණ දුන් අභියෝග  හමුවේ ශ්‍රී ලංකාව ජපානය වෙත සිය සහයෝගය ලබා දුන් පරිදි,  ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන වත්මන් ප්‍රයත්නවලදී සැබෑ හවුල්කරුවෙකු වශයෙන් කටයුතු කිරීම සඳහා ජපානය සතු කැපවීම යළිදු අවධාරණය කළේ ය.

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදේශ කටයුතු අමාත්‍ය යොෂිමසා හයාෂි මැතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය ප්‍රකාශයට පත් කළේ ය. 2019 වසරෙන් පසුව ජපානය විසින් සිදු කරන ලද දේශපාලන මට්ටමේ ප්‍රථම සංචාරය පෙබරවාරි 4 වැනි දින කොළඹ පැවති නිදහස් දින නිල උත්සවයට සමගාමීව සිදු කෙරිණි. ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂුන්සුකේ ටකේයි මැතිතුමා මෙම සංචාරයට සහභාගි විය.

71 වසරක ද්විපාර්ශ්වික සබඳතාවල ගමන් මග ඉස්මතු කෙරෙන කෙටි වීඩියෝවක් ද මෙම වැඩසටහන අතරතුර විදහා දක්වන ලදී. ජපානයේ වෙසෙන සංස්කෘතික කලාකරුවන් පිරිසක්,ශ්‍රී ලංකාවේ සියලුම ජනවාර්ගික ප්‍රජාවන්ගේ සම්ප්‍රදායන් පිළිබිඹු වන නර්තනාංග ඔස්සේ මෙම වැඩසටහනට සහභාගි වූ පිරිස ප්‍රමෝදයට පත් කළහ. “දන්නෝ බුදුන්ගේ” සහ “සකුරා මල් පිපිලා” වැනි ශ්‍රී ලාංකික සම්භාව්‍ය ගීත දෙරටේ සංගීත සම්ප්‍රදායන් බද්ධ කරමින් ජපන් ගායන ශිල්පීන් කිහිප දෙනෙකු විසින් ගායනා කරන ලදී. තවද, තේ, කුරුඳු, කුළුබඩු, සුවතා සහ ආයුර්වේද නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලාංකික කෘෂි නිෂ්පාදන මෙන්ම සංචාරක ව්‍යාපාරය සහ මෙරට විවිධ විභවයන් සහ ආකර්ෂණීය බවද විදහා දක්වන ලදී. ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සුබ පතන්නන් සහ අනුග්‍රාහකයන්ගේ සහයෝගයෙන්  මෙම උත්සවය පැවැත්විණි.

75 වැනි නිදහස් සංවත්සරය සනිටුහන් වන මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කිරීමටත්, ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් මෙන්ම වෙළඳාම, ආයෝජන, සමුද්‍ර කටයුතු සහ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත් ඉවහල් වන ශ්‍රී ලංකාව පිළිබඳ කුඩා උත්සව වැනි ක්‍රියාකාරකම් කිහිපයක් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සහයෝගය ඇතිව වසර පුරාවට ජපානය තුළ සිදු කිරීමට පෙළ ගස්වා ඇත.

 ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2023 පෙබරවාරි 09 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close