කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවා දී ජනරජයේ සිට ශ්‍රී ලංකාවට කෙරුණු ආනයන පිළිබඳ පුවත් වාර්තා

කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවා දී ජනරජයේ සිට ශ්‍රී ලංකාවට කෙරුණු ආනයන පිළිබඳ පුවත් වාර්තා

2017 ඔක්තෝබර් සිට 2018 මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට කෙරුණු රෙදිපිළි ආනයන පිළිබඳව පළව ඇති පුවත් වාර්තා කෙරෙහි මෙම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එකී පුවත් වාර්තාවල අඩංගු වී ඇති තොරතුරු සාවද්‍ය බව මෙම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් ප්‍රකාර, කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මතවල ප්‍රතිපාදනවලට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි.  ඒ අනුව, අදාල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ දේශීය රෙගුලාසි, පිළිවෙළින් 2017 ඔක්තෝබර් 06, 2018 අප්‍රේල් 19 සහ 2018 මැයි 14 යන දිනවල ගැසට් මඟින් ප්‍රකාශයට පත් කොට ඇත. (මූලාශ්‍ර: අංක 2039/32, 2067/14 සහ 2071/3 දරන රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර)

අදාල යෝජනා සම්මත ක්‍රියාත්මක කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල විශේෂඥ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාව සමීපව සහයෝගයෙන් ක්‍රියාකරන  අතර එකී විශේෂඥ කණ්ඩායම විසින් කලින් කලට ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නවලට ප්‍රතිචාර සපයයි.

රේගුවේ ස්වයංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියට ප්‍රේෂණලාභියා/ රේගු කාර්යාල නියෝජිතයා විසින් දත්ත ඇතුළු කරනු ලබන අවස්ථාවේදී අපනයනය කරන රට ලෙස කොරියානු ජනරජය වෙනුවට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය වැරදීමකින් තෝරා ගැනුණු අවස්ථා කිහිපයක් වාර්තා වී තිබේ. මෙම අත්වැරදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩල විශේෂඥ කණ්ඩායමට කරුණු පැහැදිලි කරදීමෙන් පසුව, අනාගතයේදී එවැනි වැරදි යළි සිදුවීම වැලැක්වීම සඳහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව දැන් ආරම්භ කොට ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
 
2018 අගෝස්තු 08 වැනිදා

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close