ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සටහන - 2019 දෙසැම්බර් 30

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සටහන – 2019 දෙසැම්බර් 30

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, මෙහි අමුණා ඇති රාජ්‍යතාන්ත්‍රික සටහන 2019 දෙසැම්බර් මස 30 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත එවා ඇත.

මෙම සටහන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් සමගාමීව නිකුත් කරනු ලබයි.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2019 දෙසැම්බර් 31 වැනි දින
---------------------------------

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ප්‍රශංසාව පිරිනමන අතර, පහත සඳහන් ප්‍රකාශය ගෞරවයෙන් යුතුව සිදු කරයි:

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව දශක ගණනාවක සිට විශිෂ්ට සබඳතා පවත්වා ගෙන යන අතර දෙරටේ සහ සිය ජනතාවගේ යහපත උදෙසා විවිධ ක්ෂේත්‍රයන්හි සැලකිය යුතු අන්දමේ සහයෝගීතාවයකින් යුතුව කටයුතු කොට ඇත. දෙරටම මෙම සබඳතා බෙහෙවින් අගය කරති.

පසුගිය සති කිහිපය තුළ දී, ශ්‍රී ලංකා බලධාරීන් විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබූ තානාපති කාර්යාලයේ සේවය කරන දේශීය නිලධාරියෙකු සම්බන්ධ සිද්ධියක් පිළිබඳව වරදවා වටහාගැනීම් හේතුවෙන් මෙම සබඳතාවය පළුදු වී ඇත. මෙම සන්දර්භය තුළ, දෙරට අතර පවතින සුහද සබඳතාවයට අනවශ්‍ය බලපෑමක් ඇති කරන අයුරින් සනාථ නොකළ කරුණු මගින් එය මහජනයාගේ සාකච්ඡාවට බඳුන් විය. මෙම කාලය තුළ කිසිදු අවස්ථාවක දී ස්විට්සර්ලන්තයට ශ්‍රී ලංකා රජයේ ප්‍රතිරූපයට කැළලක් කිරීමේ චේතනාවක් නොවීය.

නිසි ක්‍රියාදාමය කෙරෙහි ශ්‍රී ලාංකික බලධාරීන්ගේ ඇති කැපවීම, මෙම සිදුවීම් ඔස්සේ ප්‍රශ්න කිරීමට තුඩු දීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය සිය කනගාටුව පළ කරන අතර, ශ්‍රී ලංකාව මෙන්ම ස්විට්සර්ලන්තය ද යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට කැප වී සිටින බව තහවුරු කරයි.

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සාධනීය සහයෝගීතාව යළි ආරම්භ කිරීම සඳහා හිතකර පරිසරයක් වෙත යුහුසුලුව පෙරලා ගමන් කිරීමට තානාපති කාර්යාලය අපේක්ෂා කරයි. දේශීය නිලධාරියෙකු දේශීය නීතිවලට යටත් වන බව තානාපති කාර්යාලය විසින් වටහා ගන්නා අතර, දෙපාර්ශ්වයම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල සියලුම නිලධාරීන්ගේ සේවා කොන්දේසි සහ යහපැවැත්ම පිළිබඳව අවධානයෙන් සිටිනු ඇතැයි විශ්වාස කරයි. තම භූමිය තුළ පිහිටි වෙනත් රාජ්‍යවල රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ආරක්ෂා කිරීම ඕනෑම රජයක වගකීම වන බව ස්විට්සර්ලන්තය සිහිපත් කරයි.

ශ්‍රී ලංකාව සමඟ පවත්නා සබඳතාවයට විශාල වැදගත්කමක් ලබා දෙමින්, ඵලදායී අයුරින් මෙම සබඳතා පවත්වාගෙන යාමට සහ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය කැපවී සිටින අතර, අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සබඳතා ගොඩනඟා ගැනීමට දෙරට එක්ව කටයුතු කරනු ඇතැයි විශ්වාසයෙන් යුතුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සබඳතා යළි ගොඩනැංවීමට තම ඉහළම අවධානය යොමු කරන බවට සහතික වීම පිණිස මෙම අවස්ථාව සලසා ගනියි.

2019 දෙසැම්බර් 30 වැනි දින කොළඹ දී.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
Print Friendly, PDF & Email
Please follow and like us:

Close