පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයීය දූත පිරිසක් විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමුවෙයි. 

 පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයීය දූත පිරිසක් විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමුවෙයි. 

පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික ආරක්‍ෂාව සහ යුධ පාඨමාලාව හදාරන විද්‍යාර්ථීන්  16 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් අද (07) විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය හමු විය. ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නිලධාරීන්ගෙන් සමන්විත මෙම දුත පිරිස සිය පාඨමාලා අධ්‍යන චාරිකාවේ කොටසක් ලෙස කලාපයට අයත් රටවල සංචාරයේ යෙදෙන අතර මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.

දූත පිරිස පිළිගනිමින් කථා කළ විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින ශක්තිමත් සබඳතා සහ සමීප සහයෝගීතාව අවධාරණය කළාය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ මැක්ස්වෙල් කීගල් මහතා “ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය” යන මැයෙන් ඉදිරිපත් කිරීමක් කළ අතර ඉන් අනතුරුව කෙටි අන්තර්ක්‍රියාකාරී සැසියක් පැවැත්විණි.

පාකිස්ථාන ආරක්ෂක දූත පිරිසෙහි නායකත්වය එයාර් කොමදෝරු ෆයිසාල් ෆසාල් මුහම්මද් ඛාන් මහතා විසින් දරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව මහතා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආරක්ෂක අංශය තුළ පවතින සහයෝගීතාව දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන විවිධ ක්ෂේත්‍ර රැසක් ආවරණය කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2024 මැයි 07 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close