පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ වූ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ කාර්යය කණ්ඩායමේ (MELAG) පළමු රැස්වීම, 2019 ඔක්තෝබර් 7 සිට 9 දක්වා දිනවලදී ශ්‍රී ලංකාවේ මීගමුවේ දී පවත්වන ලදී.
2018 වසරේ දී ලන්ඩනයේ දී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ආණ්ඩු ප්‍රධානීන්ගේ රැස්වීමේ දී, ශ්‍රී ලංකාව ගෝලීය දේශගුණික අවධානම් දර්ශකයේ 2 වැනි ස්ථානය හිමිකර ගන්නා අවධියක, කඩොලානවල වැදගත්කම අවබෝධකර ගනිමින්, ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තියේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට සහය පළ කිරීම සඳහා ඇප කැපවන බව ප්‍රකාශ කළාය. සාගර ආශ්‍රිත ගැටලු විසඳීමට සාමූහිකව කටයුතු කිරීම සඳහා වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 53නේ ප්‍රතිඥාව වන නිල් ප්‍රඥප්තිය යටතේ වූ “ක්‍රියාකාරී කණ්ඩායම්“ නමය මෙහෙයවීම සඳහා ඉදිරියට පැමිණ ඇති රටවල් 12 අතරට ශ්‍රී ලංකාව ද අයත් වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තියේ පෙරමුණ ගන්නා රටවල්, ලෝකයේ දැඩි පීඩනයක් එල්ල කරන සාගර ගැටලු පිළිබඳව කටයුතු කිරීමේ ඒකාබද්ධ කටයුතු හා ශක්තිමත්, නවෝත්පාදන උපාය මාර්ග සඳහා පදනම දමමින් සිටියි.
2019 අගෝස්තු මාසය වන විට, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, වනවාටු, බහමාස්, නයිජීරියාව, ජැමෙයිකාව, ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටු බැගෝ හා එක්සත් රජධානිය යන අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් අට සමඟ ශ්‍රී ලංකාව ද එක් වී හමාරය. කඩොලාන සංරක්ෂණය හා තිරසාර භාවිතය පිළිබඳ විශිෂ්ට පරිචයන් බෙදා හදා ගැනීමට සහ අන්‍යොන්‍ය සහයෝගීතාව පුළුල් කිරීමට ද, හිමිකාරත්වය හා විශේෂ විවිධත්වය, කඩොලාන ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ තාක්ෂණික දැනුම හා විශිෂ්ට පරිචය බොදා හදා ගැනීම සහ වෙරළබඩ ජීවනෝපාය සඳහා කඩොලාන පරිසර පද්ධතියේ ඇති වටිනාකම, කඩොලාන පරිසර පද්ධතිවලට අදාළව ප්‍රජා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම හා කඩොලාන සංරක්ෂණය හා නෛතික රාමු ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ග සැකසීම යන ප්‍රවර්ග ඇතුළත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල කඩොලාන පරිසර පද්ධතිවල මූලික දත්ත පාදකයක් සැකසීමට ද මෙම කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ, අරමුණ වෙයි.
කඩොලාන අද පවත්නා ඉතාමත් ම විරල හා තර්ජනයට ලක්ව ඇති පරිසර පද්ධතියක් වෙයි. ලෝකයේ කඩොලාන වනාන්තරවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් පසුගිය දශක දෙක මුළුල්ලේ දී විනාශ වී ගොස් තිබේ. එම කඩොලානවලින් මනුෂ්‍ය වර්ගයාට වැදගත් වන බහුවිධ වූ වාසි අත් කර දෙයි. පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම හා අවශෝෂණය, ශාක සහ සත්ත්ව විශේෂ බොහෝමයකට වාසස්ථානයක් සැපයීම, ධීවර කටයුතු සඳහා වැදගත්වන මත්ස්‍ය විශේෂ ඇතුළුව සත්ත්ව විශේෂ බොහෝමයගේ බෝවීමට යෝග්‍ය ස්ථාන සැපයීම සහ වෙරළබඩ ඛාදනය වැළැක්වීම සහ දේශගුණික විපර්යාසවල අයහපත් බලපෑම අඩු කිරීම මේ අතර වෙයි. තවද, කඩොලාන මඟින් පරිසරයේ ඇති කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව නිවර්තන කඳුකර වනාන්තරවලින් කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව මෙන් තුන් හතර ගුණයකින් වැඩිය. එහෙයින්, එය, පෘථිවියේ තිරසර පැවැත්ම, ජීවනෝපාය නගා සිටවීම, කාබන් ප්‍රමාණය අඩු කිරීම සහ දේශගුණික විපර්යාසවල බලපෑම සහ ඉන් ඇති වන විනාශයේ ප්‍රමාණය අඩු කිරීම සඳහා කඩොලාන මඟින් අති විශාල දායකත්වයක් ලබා දෙන බවට කදිම නිදසුනක් වෙයි.
“මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම අපගේ ක්‍රියාකාරකම් මත රදාපවතින යුගයකට අපි පිවිසෙමින් සිටිමු. අපි නිවැරදි තෝරා ගැනීම් සිදු කරනු ඇතැයි පෘථිවිතලය අපේක්ෂා කරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තියේ හරය සුරැකීම සඳහා පියවර ගනිමින්, සාගර ආර්ථික සංවර්ධනය සහ ආරක්ෂාව උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලය සාධාරණ, යුක්ති සහගත, සියල්ල ඇතුළත් හා තිරසර ප්‍රවේශයක් ලබා ගන්නා බව තහවුරු කරමින් අපගේ ජනතාව හා අනාගත පරම්පරාවන්ගේ සුභ සිද්ධිය උදෙසා මහත් වූ ප්‍රතිලාභ අපට ලබා ගත හැකිය.“ යනුවෙන් මෙම රැස්වීම සමාරම්භණය කරමින් වැඩ බලන විදේශ කටයුතු ලේකම් අහ්මඩ් ඒ ජවාඩ් මහතා අවධාරණය කළේය. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මේ යටතේ ලබා ගත හැකි සියල්ල ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය කරන ලද ප්‍රවේශයක් හා හොඳින් පෙළගස්වන ලද ප්‍රයත්නයක් යෙදීම අත්‍යවශ්‍ය වන බවත් අපගේ අනාගත පරම්පරාව සඳහා, තිරසර අනාගතයක් උදෙසා දායකවීමට සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවක් අපට උදා වී ඇති බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේය.
මෙහි ආරම්භක උත්සවය අමතමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් මාපා පතිරණ මහතා, කඩොලාන වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් දැනටමත් ගනු ලැබ ඇති ප්‍රයත්න පිළිබඳව අවධාරණය කළේය. විශේෂයෙන්, ශ්‍රී ලංකාවට කඩොලාන පිළිබඳ වැඩසටහන මෙහෙයවීමට වගකීම ලැබීමෙන් පසුව, ශක්තිමත් කඩොලාන ප්‍රතිෂ්ඨාපන වැඩසටහනක් පාර්ශ්වකරුවන් සමඟ සාමූහිකව සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම ඇතුළුව විවිධ පියවර රැසක් අමාත්‍යාංශය ගෙන ඇති බව පතිරණ මහතා තවදුරටත් අවධාරණය කළේය. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා විශේෂ කාර්ය සාධන බලකායක් ස්ථාපනය කිරීම, කඩොලාන පරිසර පද්ධතිවල සංරක්ෂණය සහ තිරසර භාවිතය සඳහා කැප වූ ජාතික ප්‍රතිපත්තියක් හා මාර්ගෝපදේශ කෙටුම්පත් කිරීම සහ කඩොලාන පවතින ප්‍රදේශ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම වැළැක්වීම අරමුණු කරගනිමින් විශේෂ කැබිනට් තීරණයක් ගැනීමේ කටයුතු සිදු කිරීම මේ සම්බන්ධයෙන් ලබා ගෙන ඇති ජයග්‍රහණ අතර වේ. ලෝකයේ විවිධ කළාපවල පවත්නා ශක්තීන් හා දුර්වලතා සංසන්දනය කරමින්,
වර්තමාන තත්ත්වය, විශිෂ්ට පරිචය හා අසාර්ථකවීම්, මේ සඳහා සහභාගීවන රටවල වෙරළාසන්න ප්‍රජාවන්ගේ ජීවනෝපායන් සඳහා රුකුලක් වන තිරසර කඩොලාන පරිසර පද්ධති ඇති කරලීමේ දී ඇති වන හිඩැස් හදුනා ගැනීම කෙරෙහි මෙම තෙදින රැස්වීමේ ප්‍රධාන අවධානය යොමු කරන ලදී. සියලු මට්ටම්වලදී හවුල්කාරීත්ව කටයුතු සඳහා නිසි පිළිගැනීම ලබා දෙමින්, කඩොලාන ප්‍රතිෂ්ඨාපන කටයුතුවල නියැලී සිටින ශ්‍රී ලාංකික පෞද්ගලික අංශ හා ප්‍රජාවන් පාදක කොටගත් සංවිධානවලට ඔවුන්ගේ විශේෂඥභාවය හා අත්දැකීම් බෙදා හදා ගැනීමට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන ලදී. තවද, අනුගමනය කළ යුතු වැඩ පිළිවෙළ සකසන ලද අතර අන්තර් ක්‍රියාකාරීත්ව සැසිවාර මඟින් ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍යවන තොරතුරු සංස්ලේෂණය සඳහා දායකත්වය ලබා දුණි.
පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය සඳහා උපදේශක හෙයිඩි ප්‍රිස්ලාන්, ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය විද්‍යා හා කර්මාන්ත පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය මැට් වැන්ඩර්ක්ලිප්ට් හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස අංශයේ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති ඔරුගොඩවත්ත දිසානායක යන මහත්ම මහත්මීන් විසින් මෙම සැසිවාර සඳහා පහසුකම් සලසන ලදි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ කඩොලාන සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ වගකීම දරන නිලධාරීහු සහ කඩොලාන පිළිබඳ අධ්‍යයන විශේෂඥයෝ මීට සහභාගී වූ ශ්‍රී ලාංකික පිරිස අතර වූහ.
මෙහිදී සාකච්ඡා දෙදිනකට සීමා වූ අතර වන ජීවි දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ ඇති ලොව පළමු කඩොලාන කෞතුකාගාරය වන සීකොලොජි - සූධීස කඩොලාන කෞතුකාගාරය, කඩොලාන පැළ තවාන හා කඩොලාන නැවත සිටුවන ලද බිම් නැරඹීමට එක් දින විශේෂ චාරිකාවක නියැලිණි. තවද, විනාශ මුඛයට ඇද වැටී ඇති කඩොලාන බිම් (අත්හරින ලද ඉස්සෝ වගාවන්) සහ මුල් තත්ත්වයේ ම පැවතෙන කඩොලාන බිම් නැරඹීමට ද යන ලදී. කල්පිටියේ, කඩොලාන විශේෂවල අංකුර නැවත සිටුවීමේ ක්‍රියාවලියට ද එම නියෝජිතයෝ එක් වූහ.
මෙම රැස්වීම, ක්‍රිකට් ක්‍රීඩාව හරහා පවන්වන ලද සම්බන්ධතාවලින් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවට, කැරිබියානු රටවල් කීපයක් සමඟ කටයුතු කිරීමට ලැබුණු සුවිශේෂී ඉඩ ප්‍රස්ථාවක් විය.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සමඟ එක්ව, පොදු රාජ්‍ය මණ්ඩලයීය නිල් ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ (MELAG) පළමු රැස්වීම සංවිධානය කරන ලදී. පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩලයීය විද්‍යාත්මක හා කර්මාන්ත පර්යේෂණ සංවිධානය (CSIRO) විසින් ද මෙම රැස්වීම සඳහා සහය ලබා දෙන ලදි.