පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දැක්වූ සහයෝගය ශ්‍රී ලංකාව අගය කරයි

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය දැක්වූ සහයෝගය ශ්‍රී ලංකාව අගය කරයි

Photo 1

පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩල සාමාජිකත්වය සහ එහි මහලේකම්වරිය විසින් දක්වනු ලැබූ අනුග්‍රහය සහ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පළ කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා, පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් තුළ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. ත‍්‍රස්තවාදය සහ ප‍්‍රචණ්ඩ අන්තවාදය විසින් අන්තර්ජාලය හරහා එල්ල කරන තර්ජනවලට විසැඳුම් සෙවීම මෙන්ම ඒවා විසැඳීම සඳහා රටවල් සහ අන්තර්ජාල සේවා සපයන්නන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම යළිත් තහවුරු කරන 'ක්‍රයිස්ට්චර්ච්' මුල්පිරීම කෙරෙහි සිය ප්‍රසාදය පළ කළ විදේශ ලේකම්වරයා සාමකාමී සහ ආරක්ෂිත අන්තර්ජාල සේවාවක් සඳහා සාමාජිකයින්ගේ කැපවීම සමඟ පොදුරාජ්‍ය මණ්ඩල සයිබර් ප්‍රකාශය සම්මත කිරීම පැසසුමට ලක් කළේය.  ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ලන්ඩන් නුවර මාල්බොරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් සිය 70 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව ඉකුත්  සතියේ ලන්ඩන් නුවර පැවැති 19 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීම (CFAMM) සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා නියෝජනය කරමින් ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙමිනි. එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා සහ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාලයේ පොදුරාජ්‍ය මණ්ඩල හා එක්සත් ජාතීන්ගේ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන්හි තාරික් අහමඩ් සාමිවරයා මෙම රැස්වීමේ මුලසුන හොබවූහ. පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය එහි සමාරම්භක දේශනය පැවැත්වූවාය.

තිරසර සංවර්ධනය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල න්‍යාය පත්‍රය සහ පිරිසිදු සාගර පාලනය හා තිරසර සමුද්‍ර කර්මාන්ත පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තිය සම්මත කරගැනීම කෙරෙහි ප්‍රසාදය පළ කළ ආර්යසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලය නීල ප්‍රඥප්තිය යටතේ කඩොලාන ශාක ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳව කාර්ය සාධන බලකායේ පුරෝගාමියා වශයෙන්  ශ්‍රී ලංකාව පළමු කඩොලාන ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම මේ වසර අග භාගයේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන බව පැවසීය. සිය 2016  නීල-හරිත සංවර්ධන උපාය මාර්ගය හරහා  තිරසර සංවර්ධනයට ශ්‍රී ලංකාව තුළ වූ කැපවීම යළි අවධාරණය කළ ඔහු, රැජිනගේ  පොදුරාජ්‍ය මණ්ඩලය වන වගා ව්‍යාපෘතියට ගෞරවයක් වශයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වනාන්තර ප්‍රදේශයක් කැප කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවද පැවසීය. එමඟින් එම ප්‍රදේශය ස්වාභාවික වනාන්තර ආවරණයක් ලෙස නැවත පිහිටුවීම ව්‍යාපෘතියේ අරමුණයි.

පොදුරාජ්‍ය මණ්ඩලය සහ එහි මූලධර්ම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම සිය කතාවේදී යළි තහවුරු කළ විදේශ ලේකම් ආර්යසිංහ මහතා පොදුරාජ්‍ය සාමාජිකත්වය විසින් සම්මත කරනු ලැබූ  70 වැනි සංවත්සර ප්‍රතිඥාව කෙරෙහි ප්‍රසාදය පළ කළේය.  2018 පොදුරද මඩුළු සමුළුවේ ප්‍රධාන විධාන, විශේෂයෙන්ම, 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය, ‍පොදු රාජ්‍ය මණ්ඩල අන්තර් සම්බන්ධතාව සහ වෙළෙදාම සාක්ෂාත් කරගැනීමට සහය වන විධාන ක්‍රියාත්මක කිරීමද ශ්‍රී ලංකාවේ ප්‍රසාදයට ලක් විය.

පොදුරාජ්‍ය මණ්ඩල නීති අමාත්‍යවරුන්ගේ රැස්වීම 2019 නොවැම්බර් මස කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කළ විදේශ කටයුතු ලේකම්වරයා පොදුරද මඩුළු “තණ තිල්ලේ සාමය” වැඩසටහන උදෙසා ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය කෙරෙහි ප්‍රසාදය පළ කළේය. පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුණු තවදුරටත් ඉදිරියට ගෙනයෑමෙහිලා එහි මහලේකම්වරියගේ අඛණ්ඩ කැපවීම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක් විය. පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය යළි ලබාගැනීමට මාලදිවයින දරන ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාව සිය සහයෝගය දැක්වූ අතර නැවත සමාජිකත්වය ලබාගැනීමේ  ‘වේගවත් ක්‍රියාමාර්ගය’ සලකා බලන ලෙස ඉල්ලා සිටියේය.

කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් මහත්මිය සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතාගේ සම සත්කාරකත්වයෙන් පැවැත්වූ මාධ්‍ය නිදහස පිළිබඳ ගෝලීය සමුළුවටද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගී විය. මෙම සමුළුව පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව 2019 ජූලි මස 10-11 යන දිනවල ලන්ඩන් නුවරදී පැවැත්විණි.

විදේශ කටයුතු ලේකම්වරයාගේ නායකත්වයෙන් යුත්  ශ්‍රී ලංකා නියෝජිත පිරිසට එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර, ලන්ඩන් නුවර  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (පොදුරාජ්‍ය මණ්ඩලීය හා දේශපාලන) අබ්දුල් හලීම් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ මධ්‍යම ආසියා අංශයේ සහකාර අධ්‍යක්ෂිකා තක්ෂිලා ආර්නෝල්ඩා යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2019 ජූලි 13 වැනිදා

Photo 2

 

Photo 3

Print Friendly, PDF & Email
Please follow and like us:

Close