සිය වගකීම් ඉටු කොට සිටින ශ්‍රී ලංකාව, ඵලදායී ලෙස, අපක්ෂපාතීව හා විනිවිදභාවයකින් යුතුව සම්පත් භාවිතා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී

සිය වගකීම් ඉටු කොට සිටින ශ්‍රී ලංකාව, ඵලදායී ලෙස, අපක්ෂපාතීව හා විනිවිදභාවයකින් යුතුව සම්පත් භාවිතා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී

Image 01

මේ සතියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමු වූ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම, බොහෝ දේශීය ප්‍රමුඛතා තිබියදී ද, නියමිත ගෙවීම් සිදුකිරීමේ දී ශ්‍රී ලංකාව මේ දක්වා සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇති බව අවධාරණය කළ අතර, වියදම් අවම කිරීමේ පියවර ගැනීමට හා සීමිත මෙහෙයුම් සිදුකිරීමේ තත්ත්වයට පත් වී ඇති එම සංවිධානය එහි දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දී සිටින මොහොතක, සාමාජික රටවලින් ලැබෙන සම්පත් වඩාත් ඵලදායී හා අපක්ෂපාතී අන්දමින් හා විනිවිදභාවයකින් යුතුව භාවිත කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටියේය.

2019 ඔක්තෝබර් 18 වන දින පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල (UNGA) පස්වැනි කමිටුවේ දී, ශ්‍රී ලංකාවේ නියෝජිත, කැනඩාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් සිතාරා ඛාන් මහත්මිය මහා මණ්ඩලයේ සභාපති ටිජ්ජානි මුහම්මද්-බන්ඩේ මැතිතුමා ඉදිරියේ දී මෙම නිරීක්ෂණය ඉදිරිපත් කළාය.

අරමුදල් ලබා ගැනීමේ හැකියාව මත පදනම්ව, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා හමුදා සහ උපකරණ සපයන සාමාජික රටවල් සඳහා වූ වගකීම් අප්‍රමාදව ඉටු කරන බවට මහලේකම්වරයා විසින් ලබාදුන් සහතිකය නියෝජිතවරිය අගය කළාය. ආදේශ කිරීම සඳහා හඳුනාගත් සාම සාධක භටයන් සම්බන්ධයෙන් වූ මූල්‍ය වගකීම්, ඔවුන් නැවත සියරටට එවනු ලබන අවස්ථාවේ දී ඉටු කරන ලෙස ශ්‍රී ලංකාව මහලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි අතර, සාම සාධක මෙහෙයුම් සඳහා වන සියලුම හිඟ මුදල් ලබා දීම සහතික කිරීම සඳහා, ඒවා පුරෝකථනය කොට ගෙවීමේ ක්‍රමයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය විසින් සකස් කිරීම වැදගත් වන බව ද පැවසීය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් අයවැයට 1960 වසරේ සිට ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම දායක වූ බව සිහිපත් කළ ඛාන් මහත්මිය, රාජ්‍ය නායකයෙකුගේ තීරණය අභියෝගයට ලක් කරමින් හා ස්වෛරී රටක් සමඟ වූ අවබෝධතා ගිවිසුමක් උල්ලංඝනය කරමින් මෑතක දී සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව (DPO) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලද පිළිවෙත් පිළිබඳව සිය කනස්සල්ල පළ කළාය. අදාළ කරුණු සම්බන්ධව ලිඛිත සන්නිවේදනයන් සඳහා විධිමත් ලෙස පිළිතුරු දීමට මසකට අධික කාලයක් තිස්සේ මහලේකම් කාර්යාලය අපොහොසත් වී ඇති බව පෙන්වා දුන් නියෝජිතවරිය, වාචිකව සපයන තොරතුරු පිළිබඳ ව්‍යාකූලත්වය සහ වරදවා වටහා ගැනීම වළක්වා ගැනීම සඳහා විධිමත් සන්නිවේදනයන් පැවැත්වීම වැදගත් වන බව පැවසුවාය. තීරණ ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම වළක්වා ගැනීම සහ සංවිධානයේ වෘත්තීය ආචාරධර්ම සුරක්‍ෂිත කිරීම පිණිස, එවැනි නුසුදුසු ක්‍රියාවලියක් පද්ධතිගත කිරීම සඳහා ඉඩකඩ ලබා නොදීමට සහතික වන ලෙස ද ඇය එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටියාය.

 

එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය
නිව්යෝර්ක් නුවර
 
2019 ඔක්තෝබර් 18 වැනි දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close